යක්ෂයන් මෙල්ල කර වැඩ ගන්නේ මෙහෙමයි
යක්‍ෂ බැල්ම නිසා රෝගී වුණේ යැයි කියන තැනැත්තන් ඉන් මුදවා ගැනීම සඳහා, එකල බොහෝ දෙනා ගුරුන්නාන්සේලාගේ පිහිට පැතූහ. සබරගමුව සහ උඩරට සම්ප‍්‍රදායට අනුව සිදු කෙරෙන කටිනා රූප රීරී යක් බලි තොවිලය ඊට හොඳම ප‍්‍රතිකර්මය බව දිගාමඩුල්ලේ උතුරු වැව් ගම්පත්තුවේ පරගහකැලේ කේ. එම් අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේය. පසුගිය සති තුනක් පුරා මෙහි සටහන් කළ කටිනා රූප රීරී යක් බලි තොවිලය පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම අදහස් කළේය. අද මේ සටහන තැබෙන්නේ එහි අවසන් තොරතුරු සඳහාය.
කටිනා රූප රීරී යක් බලි තොවිලයේ දී සාදන ලද බලි දෙකේ උපත සහ ඒවා සාදන ආකාරය ගැන ගුරුන්නාන්සේලා කවියෙන් සඳහන් කරති. මේ රීරී යක් බලිය ගැන කියවෙන ආකාරයයි.
”රීරී යක් බලිය - විස්කම් දෙයි එවිට
සත් වියත් මැසි බැඳ සිට - තුන් වියත් පුළුලට
රීරී යක් බලි අඹව් මෙලෙසට - වාලි මූණක් අඹා
සිරස ඔටුනක් අඹා- ළමැද ලේ විලක් අඹා
මෙලෙස රීරී යක් බලි අඹා- සවුලකු වම් අතට
කඩුවක් අඹා දකුණට- මල් මාලා කර වටට
අඹා එළුවෙකු දෙපයට - ඒව ඇදුරා සිට
යාගය කරන විලසට- දෝස දුරලන්නට
අඹව් මේ බලි මෙලෙසට - රන් පැහැය විලසට
රීරී යක් බලි අඹව් - මෙලෙසෙට
සැපතක් දෙමින් සිට - උපතත් කියමි මෙලෙසට
දුන්න බලි යකු හට - රීරී යකු වරෙන් මෙබලි දැක සිට”
පහත සඳහන් වන්නේ කටිනා රූප බලිය ගැන කියවෙන කවියකි.
දීප සසර වට කර ඇවිදිනා යකු
සාප ඉඳුරු ලෙඩ රෝ දුක් කරනා යකු
කෝප වෙලා සැංඟී ලෙඩ කරනා යකු
රූප කටින ළඳ දැක බැස වරෙන් යකු
අරක ගලක ගල් අරනක වෙසෙන යකු
මලක වෙලෙක වෙල් එළියක වෙසෙන යකු
එක් වී නොවී සැංඟී ලෙඩ කරන යකු
මෙතන කටින රූපයට බැස වරෙන් යකු
‘‘බුදුන් වැඳලා වැඩ පටන් ගන්නා, මේ තොවිලය නටන අතරතුර කතරගම දෙවියන්ට, පත්තිනි මෑණියන්ට, හූනියම් දෙවියන්ට, ඊෂ්වර දෙවියන්ට මල් පහන් තියනවා. ඒ සියල්ල සඳහා වෙනම මල් පැලක් හදනවා. ඒ දෙවිවරුන්ටත් පින් අනුමෝදන් කරලා ස්තෝත‍්‍ර කියමින් යාඥාකරනවා.”
‘මේ පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා .... මේ පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා. සියලූ දෝෂ නිවාරණය වී, බාධක කරදර දුරු වේවා, ඔබ වහන්සේලාගේ තේජානු භාවයෙන් කරන්නා වූ මේ යාග හෝමයෙන්, මේ ආතුරයාගේ තිබෙන්නා වූ , සියලූම දෝෂ නිවාරණය කර ගසා සෙතක් උදා දේවා.”
‘‘ඉතින් මෙන්න මේ විදියටත් කියනවා.”
”මෙළඳ සැරසිලා කටිනා රුව දැකලා
බොළඳ තෙපුල් කියමින් මුව රද කරලා
එකල දහස් රන් රිදියෙන් මිල කරලා
මෙළඳ දුටු යකෙක් නොසිටිව් අත් හැරලා
තුන් දොස් කිපී වාතෙන් එයි ලෙඩට මුළා
ඉන් යකු වෙසෙයි අවතාරෙන් මවිත වෙලා
සන්සිඳවන්න දෙවියෝ සැවොම වැඩ සිටලා
කන්ඳ ස්වාමි වැඩලා දෝෂ දුරු කළා
පටිය එරන් මල් දම් කර වටේ බැඳා
තැටිය එරන් බුබුළෙකි පියයුරු ළමැදා
සිටිය යක්කු ළඳ දැකලා කැමති වෙලා
ලෙඩ කර යක්කු ළඳ කැටුවම යමව් අදා........
‘‘ඒ කවිවලට අමතරව මෙන්න මෙහෙම ස්ත්‍රොත‍්‍ර ගායනය මගිනුත් කටිනා රූප බලිය ගැන කියනවා. කටිනා රූප බලිය කාන්තා රූපයක් නිසා ඒ ගැන බොහෝම වර්ණනා කරනවා”.
‘‘විෂ්මකර්මය එවිට රන් පුටුව මවා සිට
භාවනා දෙව් ඇවිත් විමන බිම සොමි කරත්
රූප කල් යානයෙන් දීප සතරට උතුම්
මෙරුව අඹමින් සොඳට
නළල අඩ සඳ ලෙසට දෑස නිල් මැණික් සේ
මුඛය මල් දඹ ලෙස බෙල්ල රන් කළය සේ
ළමැද රන් පෝරුව සේ දෙතන රන් කුඹු ලෙසේ
පිටද රන් මඩල සේ ඉඟද දුනු මිට ලෙසේ
දෙකල රඹ කඳන් සේ කෙණ්ඩ දුනු කැකුළු සේ
පතුල් පියුමන් ලෙසේ ඇඟලි රන් පළු ලෙසේ
මෙරුව අඹමින් මෙසේ බැඳ වරල පිට මැදට
බැඳ මාල කර වටට ඇඳි සේල තුණු ඉඟට
සොඳ කටින රූපයට නැබ සතර පිදෙවිලි
බඳ වටට සැරසිලි යාග කළ සමු නොසිට
එදිවි දොස් පහ කරති පළමු යාගය එවිට
කටින යාගය නමින් වටින මගේ දුවෙක් මෙන්
පුටුව පිට ඉඳ කටින.......”
‘‘පළමු පන්තියේ යක්කුන්ට පිදෙනි තටු දීලා යාග හෝම කරලා තොවිලේ නැටුවට පස්සේ දෙවෙනි පන්තියේ යක්කුන්ට පිදේනී තටු දීලා යාගහෝම කරලා තොවිලේ නැටීම ආරම්භ කරනවා. මෙතන පළමු පන්තියේ සහ දෙවෙනි පන්තියේ යකුන් විදිහට හඳුන්වන්නේ මනුස්ස ලෝකයේ කුල මල භේදය වගේ නිසයි. සමහර යක්කු කුලයෙන් උසස් සමහර යක්කු කුලයෙන් පහත්. ආතුරයගේ ලෙඩ සුව කරගන්න ඕන නම් මේ හැම කුලයකම යක්කුන්ට පිදේනි දෙන්න ඕන. එතකොට තමා උන් සතුටු වෙන්නේ. උන් අතරත් කුල භේදය වගේ දෙයක් තියෙන නිසා තමයි පළමු පන්තියේ යකුන් සහ දෙවෙනි පන්තියේ යකුන් කියලා හඳුන්වන්නේ. දෙවෙනි පන්තියේ යකුන් පිට පන්තියේ යකුන් කියලත් හඳුන්වනවා. ඔය කළු යක්‍ෂයා, තොට යක්‍ෂයා, අභීමාන යක්‍ෂයා, වැනි යක්කු තමා කුලයෙන් අඩු යක්කු. තොවිලයේ දී උසස් කුලයේ යක්කු වෙන රීරි යක්‍ෂයා, වැනි යකුන්ට තමා ඉස්සෙල්ලාම පිදේනි දෙන්නේ. කුලයෙන් අඩු යක්කුන්ට පස්සේ දෙනවා. ඒ අඩු කුලේ යක්කුන්ට කලින් දුන්නොත් උසස් කුලේ යක්කු උදහසට පත්වෙනවා.”
‘‘කළු යක්‍ෂයාගේ පිරිවර තමා ගිරි යක්කු. අර ඉහළ පෙළේ යක්කුන් තරම් දරුණු නොවුණත් මනුස්ස ලෝකයේ මිනිස්සු ලෙඩ කරවනවා. තොට යක්‍ෂයාටත් පිරිවරක් ඉන්නවා. උන්ට කියන්නේ කුරුම්භර යක්කු කියලා. උන් තමයි ඊශ්වර දෙවියන්ගේ රෙදි අපුල්ලන්නේ. ඊළඟට ඉන්නවා අභිමාන යක්‍ෂයා. එයාගේ පිරිවර තමයි උල් යක්‍ෂයා, මල් යක්‍ෂයා සහ වඳ යක්‍ෂයා. මෙන්න මේ යක්‍ෂයන් තමා අඩු කුලේ යක්‍ෂයන් විදිහට සලකන්නේ. නැත්නම් පිට පන්තියේ එහෙමත් නැත්නම් දෙවෙනි පන්තියේ යක්කු විදිහට හඳුන්වන්නේ. දැන් ඉතින් මේ යකුන්ට දෙන පිදේනිය ආතුරයගේ දෙපා අසලට ගේනවා. ඊට පස්සේ පිට පන්තියේ යක්කුන්ගේ උපත ගැනත් කවි සහ ස්ත්‍රෝත‍්‍ර මගින් කියනවා.
මෙතනදීත් දවුල ගහනවා. යක්කු ගැන යාගහෝම කරමින් උන්ට දොළ පිදේනි දෙමින් මෙන්න මේ විදිහට කියනවා.”
‘‘කළු යක්‍ෂ, තොට යක්‍ෂ, උල් යක්‍ෂ , මල් යක්‍ෂ, රතී යක්‍ෂ, සනී යක්‍ෂ, අභිමාන යක්‍ෂ වඳ යක්‍ෂ .. අදත් දෙන මේ තොපට මෙරුව දැක සිතු ලෙසට මෙහෙව් ආතුරයා හට පැමිණි ලෙඩ හරින්නට සැරසූ රූපය බලා පැවසූ කවි අසාලා මෙ දුන් දොල බලාලා මෙහෙයි ආතුරයන්ගේ අට අනූවක් රෝග හැර නව අනූවක් ව්‍යාධි හැර දෙතිස් ආන්ත‍්‍රාව හැර කඩින් කඩ දුරෙන් දුරු වී පලයං හෝ ඒස්වා හෝ.....”
‘‘දැන් ඉතින් සියලු යක්කුන්ට දොළ පිදේනි කැප කරලා අවසානයි, දැන් යක්කුන්ට කියන්නේ මේ ආතුරයගෙනුත් මේ භූමියෙනුත් ඉවත් වෙලා යන්න කියලයි.’’
‘‘ආල වඩන රූ බර බලි ඇති හොඳට
විලාප තියා යකුනේ නටන් යන්නට
අලස නොවී එක්වුණ යකුනෙයි තොපට
බලව් අංජනම් ........
ඇවිළෙයි දෑස පියවෙයි යකුනෙයි එවිට
විගස නටන් ගැලවී යන්නට අහසට
ඉඳලා එක සයන යනවා දුක නොසිතන්
බිඳලා ලීය වෙන් කර දැමූ ඉරනම් මුදලා
වරල මල් ගවසයි සියලූ මලෙන් වැඳලා
යන්න අවසර ගන්නූ මගෙන්
චන්ද්‍ර සූර්ය දෙවි අණ යකු දැන ගල්ලා
මන්ත‍්‍ර බලේ යකුනේ තොපි දැන ගල්ලා
ගින්දර සේම බුදු රැස් කඳ ඇඟට ගලලා
ඊන්ද්‍ර දිගට යකුනේ බැස පලයල්ලා.”
‘‘පිදේනි තටු දීමෙන් පසුව පැදුරක උඩු බැලි අතට දපලා ඉන්න ගමන් තමයි ගුරුන්නාන්සේ මේවා කියන්නේ. එයාගේ හිසේ සිට දෙපා වැසෙන සේ පච්ච වඩම් රෙද්දකින් වහගෙන තමයි මේ යන්ත‍්‍ර මන්ත‍්‍ර සහ නොයෙක් ස්ත්‍රෝත කියවන්නේ. එයාගේ දෙපාවලින් කුකුළෙකු අල්ලගෙන ඉන්නවා. පැය කීපයක් තිස්සේ එහෙම කියනවා.
ගුරුන්නාන්සේ මේ විදිහට උඩුබැලි අතට දපන්නේ පපුව උඩ පිදේනි තට්ටුව තියාගෙනයි. එහෙම දපලා ඉන්නකොට දැපවිල්ලේ කවිය නොහොත් මරුවාගේ කවි කියනවා. ඒ කවි කියද්දී අතේ නූලකුත් තියෙනවා. ඒක වරින් වර මන්ත‍්‍රවලින් ජප කරනවා. තමන්ගේ ජීවිතය යක්‍ෂ බන්ධනයට නතු වෙන බවත් ආතුරයාගේ ඇෙඟන් ඉවත්ව යන ලෙසත් ඉල්ලා සිටිමින් තමයි මරුවාගේ කවි කියන්නේ. ඒ කවි මෙන්න මෙහෙමයි.”
‘‘නෑයෝ අඬන්නේ පව් ඇර පව් බොලන්නේ
පණ යති කියන්නේ ඉතින් කවදද මා දකින්නේ
දිවත් කැඩිලා ඇතුළට වැටෙන්නා
අත පය නැවීලා බුරුළ වැටෙන්නා
ඉතින් මගේ රූපේ නැති වෙන්නා
ඉතින් මගේ පණ මරු ගෙනියන්නා........”
‘‘දැන් ඉතින් ආතුරයා හොඳටම ආවේස වෙලා දඟලනවා. ගුරුන්නාන්සේලා කවි, බුදු ගුණ, යන්ත‍්‍ර මන්ත‍්‍ර, ස්ත්‍රෝත‍්‍ර කියවනකොට යක්‍ෂයාට ඉන්න බෑ. ආරම්භයට වඩා ආතුරයාගේ දැඟලිල්ල වැඩියි. දැන් ඉතින් ගුරුන්නාන්සේලා දන්නවා යක්‍ෂයාට හොඳටම රිදී ඇති බව. යක්‍ෂයාගෙන් ප‍්‍රශ්න අහන්න හොඳම වෙලාව මේක බව ඔවුන් තේරුම් ගන්නවා. ඊට පස්සේ ගුරුන්නාන්සේ අහනවා උඹට ඕන ඕන දේවල් අපි දුන්නා දැන්වත් මේ ආතුරයාගේ ඇෙෙඟන් පිටවෙලා යනවා ද....? එහෙම නැත්නම් උඹව අල්ලලා පරසක්වළ ගහනවා, ඔන්න ඔය විදිහට ප‍්‍රශ්න අහනකොට යක්‍ෂයා කියනවා ඔව් ගුරුන්නාන්සේ මම යනවා, ඉතින් ඒ යන්නේ කොහොමද කියලා ගුරුන්නාන්සේලා අහන්නෙත් ආතුරයාගේ ඇෙඟ් සිටින යක්‍ෂයා පිළිතුරු දෙන්නෙත් මෙහෙමයි.”
‘‘බුදුන් පල් යනවා කියාපන්”
‘‘බුදුන් පල් යනවා ගුරුන්නාන්සේ”
‘‘ඊශ්වර දෙවියන් පල් යනවා කියාපන්”
‘‘ඊෂ්වර දෙවියන් පල් යනවා ගුරුන්නාන්සේ”
‘‘විෂ්ණු දෙවියන් පල් යනවා කියාපන්”
‘‘උඹ යනවා කිව්වාට අපට විශ්වාස නෑ. කොහොමද උඹ යන්නේ....?”
‘‘මල්මාලාවකින් යනවාද....? ගහක අත්තක් කඩාගෙන යනවාද....? මොන විදිහටද යන්නේ කියාපන්.”
‘‘මම මල් මාලාවකින් යනවා ගුරුන්නාන්සේ”
‘‘ඔන්න ඉතින් එහෙම කිවුවහම ගුරුන්නාන්සේ තමන්ගේ අතේ තියෙන පුවක් මලෙන් ආතුරයාගේ ඔළුවට ගහනවා. එහෙම ගහනකොට ආතුරයා හූ කියාගෙන කෑ ගහගෙන සිහි නැතුව වැටෙනවා. ඒකෙන් කියවෙන්නේ යක්‍ෂයා ආතුරයාගේ ශරීරයෙන් පිටව ගිය බවයි. ගහක අත්තක් බිඳගෙන යනවා කිව්වොත් ඒ මොහොතෙම යාබඳ ගහක අත්තක් කැඩි යන ආකාරය දකින්න පුළුවන්. ඒ ගහේ අත්ත කැඩෙන කොටමත් ආතුරයා සිහිය නැතුව වැටෙනවා. ඉන් පස්සේ ගුරුන්නාන්සේ වතුර ටිකක් මතුරලා ආතුරයාගේ මූණට ඉහිනවා. ආතුරයාට ආයෙත් සිහිය එන්නේ එතකොටයි. නැවත සිහිය එනකොට සිදුවෙච්ච කිසිම දෙයක් මතක නැතිව ආතුරයා වටපිට බලනවා. ඒකෙන් කියවෙන්නේ යක්‍ෂ බන්ධනයෙන් ආතුරයා මිදුණු බවයි. දැන් ඉතින් සියල්ල නිවාරණයි. ඊට පස්සේ ගුරුන්නාන්සේ විසින් ආතුරයව නැගිට්ටවලා නිවෙසේ දොරකඩ ළඟට අරගෙන අතේ තිබෙන ඊ ගසෙන් සංකේතාත්මකව පොළොවෙ ඉරි තුනක් අඳිනවා. ඊට පස්සේ තමයි ආතුරයව ගෙට ඇතුළු කරන්නේ.”
‘‘මේ සියල්ල අවසන් වීමෙන් පසු අර පිදේනි සේරම අවනත්තට අරගෙන යනවා. මෙතනදී අවනත්ත කියලා හඳුන්වන්නේ වත්තේ කොනක් හෝ කිසියම් පාළු ස්ථානයකට. ඒ වගේ තැනකට පිදේනි ටික අරන් ගිහින් තැන්පත් කරනවා. එතැනින් කටිනා රූප රීරි යක් බලි තොවිලයේ වැඩ කටයුතු අවසන් වෙනවා.”
(උඩරට සහ සබරගමු සම්ප‍්‍රදායට අයත් යැයි කියන එදත් අදත් වැව්ගම්පත්තුවේ ජන ජීවිතය හා සබැඳි මෙම සංස්කෘතිය පිළිබඳව අල්ප මාත‍්‍රයක් කියැවුණු ලිපි පෙළ මෙතෙකින් සමාප්තයි.)
පසු සටහන :-
සති ගණනක් පුරා ඉරිදා ලංකාදීපයේ පළ වූ මෙම ලිපි පෙළ නිසා දිගාමඩුල්ල පරගහකැලේ කේ.ඇම්. අප්පුහාමි ගුරුන්නාන්සේ මහතාටත්, සුදු බණ්ඩා ගුරුන්නාන්සේ මහතාටත්, ලංකාවේ දස දෙසින්ම මෙන්ම විදෙස් රටවල්වලින් ද නොකඩවා දුරකතන ඇමතුම් එන්නට විය. ඉන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ තරහකාරයන්ට අණවින කොඩිවින කරදෙන ලෙසයි. තවත් සමහරුන් ඉල්ලා සිටියේ ලෙඩ දුක් රෝ බිය සඳහා ශාන්තිකර්ම කරදෙන ලෙසයි.
එම නිසා එසේ අමතන අයට ඔවුන් දැනුම් දෙන්නේ අණවින කොඩිවින වැනි දේ නොකරන බවත් ශාන්තිකර්ම වැනි දේ පමණක් හැකි අයුරින් ඉටු කර දෙන බවත්ය. එම නිසා එවන් අණවින කොඩිවින වෙනුවෙන් දුරකතන ඇමතුම් නොගන්නා ලෙස ද ඒ දෙපළ කාරුණිකව ඉල්ලා සිටිති.
සටහන සහ සේයා රූ
දිගාමඩුල්ලෙ සමන් දිසානායක