ඉන්ද්‍රට දෙව් ලොව අහිමි කළ දුර්වාසගේ ශාපය


​දේව  පුරාණය 

දෙවිවරු, මිනිසුන්ට හපන්ය. මිනිස් ලෝකයේ මෙන්ම දිව්‍ය ලෝකයේද ගැටුම්, යුද ගැටුම්, පැහැර ගැනීම්, බෙලි කැපීම්, බල ලෝබය, ​ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම්, ශාප කිරීම්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම් වැනි දුර්ගුණ බොහෝය. අල්පේශාක්‍යයන්ට හැමවිටම සිදුවෙන්නේ මහේශාක්‍යයන්ගේ අහංකාරකම් බලන්නටය. ලස්සන දෙවඟනන්ට දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම වැටීම පමණක් නොව, ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරන්නටද සිදුවෙයි.   


දේව සභාව කවරක් වුවත් එනම් ග්‍රීසිය, භාරතය, ඊජිප්තුව, රෝමය, සුමේරියාව, ඉන්කාව වැනි කුමන සංස්කෘතියක වුවත් හැම දිව්‍ය ලෝකයකම තිබෙන්නේ එක වගේම කතන්දරය. වෙනස් වන්නේ ඒ ඒ දෙවිවරුන්ගේත් දේවතාවියන්ගේත් නම් ගම් වාසගම් පමණි.  


භාරතයේ එහෙමත් නැත්නම් හින්දු මිත්‍යා කතා සාහිත්‍යයේ සඳහන් වෙන මෙම කතාව ඉන්ද්‍ර දෙවියන්ට ලක්ෂ්මිය සරණපාවා ගන්නට සිදු වූ ආකාරය විස්තර කෙරෙන්නකි. එහි මූලාරම්භය සිදුවෙන්නේ ඉන්ද්‍ර දෙවියන්ට ඉසිවර දුර්වාස ශාප කිරීමෙනි.  

 

දිව්‍ය ලෝකයට හැමදාමත් වසන්තයයි. පරසතු ඇතුළු විවිධ මල්වලින් හමන සුවඳින් නැහැවුණු පවන හැම මොහොතකම දිව්‍ය ලෝකය පුරා හමායයි. මේ සුවඳටත් වසන්තයේ සුන්දරත්වයටත් වසඟ වූ දුර්වාස ඉසිවරයා තම යෝගී ඉරියව්වෙන් නැගී සිටියේය. ලොකු හුස්මක් ගෙන සුගන්ධ සුළඟකින් මඳක් පපුවට උරාගත් ඔහු හෙමින් සීරුවේ පියවර තබන්නට පටන් ගත්තේය.  


මද දුරක් ඇවිද යන විට ඔහුට දකින්නට ලැබුණේ මාර්ගය අද්දර වැටී තිබූ මල් දමකි. මොහොතක් එදෙස බලා සිටි ඉසිවරයා එය අහුලාගත්තේය. ඒ මොහොතේ පිපුණාක් බඳු නැවුම් මල්වලින් තනා තිබූ ඒ මල් දම මත සීතල පිනි බිංදු ද රැඳී තිබිණි.
  
මල් දම සුරතින් ගත් දුර්වාස ඉසිවරයා වට පිට බැලුවේ, ඒ මල් දම කාගේදැයි විපරම් කරන්නටය. එකත් එකටම මේ ලස්සන දෙව්ලියකගේ රෝස පාට සියුමැලි ඇඟිලි තුඩුවලින් නිම්හම් වූවක් විය යුතුය. එහෙත් කිසිදු දෙව්ලියක් දකින්නට නොවූයෙන් ඒ මල් දම සුරත දරාගත් දුර්වාස ඉසිවරයා ඉදිරියටම පියවර තැබුවේය.  


ඈතින් ඇසුණේ ඝණ්ඨාවකින් ගිලිහෙන මියුරු හඬකි. ගීතයක් බඳුව, ලතාවකට නැංවෙන ඒ ඝණ්ඨා හඬ නැගී, සුළු මොහොතකට පසුව ඔහුට පෙනුණේ සුදු පැහැ හස්ති රාජයෙකි. ඒ ධවල සද්දන්තයාගේ ඉදිරියෙන් දිගු දළ යුගලයක් තිබෙනු පෙනුණේ අනතුරුවය.   


‘‘අයිරාවත....’’  


ඇත් රාජයා හඳුනාගත් දුර්වාස තමන්ටම කියාගත්තේය.  


අයිරාවත ඇත් රජු වූ කලී ඉන්ද්‍ර දෙවියන්ගේ නිල රථයයි. දිව්‍ය ලෝකයේ කොතැන ගියත්, ඉන්ද්‍ර දෙවියන් ගමන් ගන්නේ මේ අයිරාවතයකුගේ පිට මත නැගී ගෙනය. සිවුපාවලට ගැටගසන ලද රන්වන් ගෙජ්ජිද, ගෙලට පළඳන ලද රන්වන් මාල ද සහිත සද්දන්ත කුලයේ ධවල අැතුන් සිවු දෙනෙක් ඉන්ද්‍ර දෙවියන් සතුය. දෙව්ලොව සියලු දෙව්වරුනට අධිපති වන ඉන්ද්‍ර, දේව සභාවේ සභාපතිද වන්නේය.   


සියයකට අධික මහේශාක්‍ය සහ අල්පේශාක්‍ය සියලු දෙවිවරුන්ගේ බලසම්පන්න නායකයා වන බැවින් ඉන්ද්‍ර දෙවියා අසීමිත ලෙස ආඩම්බර වූයේය. කෙළින් තබා ගත් හිස, ඍජු බැල්ම, අනෙකුන් නොසලකා හැරීම වැනි අහංකාර පරවශ හැසිරීම් ඉන්ද්‍ර දෙවියා තුළින් හැමවිටම විද්‍යාමාන වූයේය.  


අයිරාවත තම ඉදිරියෙන් එනු දුටු, දුර්වාස ඉසිවරයා, පාර හරහා ඇවිද ගියේ ඉන්ද්‍ර දෙවියන් හමුවෙන්නටය.  


‘‘මේ අමරණීය මල් දම ගැලපෙන්නේ ඔහුට’’   


දුර්වාස තමන්ටම කියාගත්තේය.  


මාර්ගය අද්දර වූ තුරු අතුපතරින් පත්‍රයක් කඩා කමින් පැමිණි අයිරාවත, තමා අද්දර නතර වූ විගස, දුර්වාස තම අත වූ මල්දම ඉන්ද්‍ර දෙවියන් වෙත දිගු කළේය.  


කුමක්ද?  


ඉන්ද්‍ර දෙවියා විමසුවේය.  


‘‘මල් දමක්’’  


දුර්වාස පැවසුවේය. ‘‘මා ඇවිද එනවිට මෙය මාර්ගය අද්දර වැටී තිබුණා. නොමැලවෙන මේ මල් මත වැටුණු පිනි බිංදු පවා රැඳී තිබෙනවා. මා කල්පනා කළා. මෙය වඩාත්ම ගැලපෙන්නේ ඔබට බව....’’.  


ඇතු පිටින් බිඳුවක්වත් පහත් නොවූ ඉන්ද්‍ර දෙවියා තම පය දිගු කර අර මල් දම පයේ ඇඟිලි දෙකකින් අරගත්තේය. අනතුරුව එය සුරතට ගෙන ඇතුගේ හිස මත තැබුයේ නොසැලකිල්ලෙනි.  
මල් දමෙන් වහනය වූයේ තද සුවඳකි. මේ සුවඳ ඇතුට දරාගත නොහැකි තරම් විය. එබැවින් ඇතු උත්සාහ කළේ මල් දම බිම දමන්නටය. හිස දෙපස​ට හරවමින්ද පසෙකට ඇල කරමින්ද මඳක් වෙහෙස වූ ඇතු අවසානයේ මල්දම බිම දමන්නට සමත් විය.  


මල් දම වැටුණේ දුර්වාසගේ දෙපා මුලටය.  


දුර්වාස ඉසිවරයා ඉන්ද්‍ර දෙවියා දෙස බැලුවේ කෝපයෙනි. යෝගීවරයකු වුවත්, භාවනානුයෝගියකු වුවත්, සැනෙකින් කෝපයට පත්වීමත්, අනෙකුන්ට ශාප කිරීමත් දුර්වාස ඉසිවරයාගේ දුර්වලකමකි. ඔහු සතු අසීමිත මානසික ශක්තියේ හේතුවෙන් ඔහු යම් කිසිවෙකුට ශාප කළහොත්, ඒ ශාපය නොවැරදීම ඔහු වෙත එල්ල වන්නේය. ඒ තරමටම දුර්වාසගේ මානසික බලය ඉහළය. ඔහු ඍජු දෑසින් ඉන්ද්‍ර දෙවියා දෙස බලා සිටියේය.  


‘‘ඉන්ද්‍ර, මම ඔබට මල් දම දුන්නෙ බොහොම ගෞරවයෙන්, නමුත් ඔබ මට දැක්වූයේ පහත් සැලකිල්ලක්. ඔබේ උඩගුකමට. අනෙකුන්ට ගරු සරු නොකිරීමේ මෝඩකමට ඔබට පාඩමක් ඉගැන්විය යුතු වෙනවා’’ දුර්වාස පැවසුවේය.  


ඉන්ද්‍ර මොහොතකට දුර්වාස දෙස බැලුවේය. ඉසිවරයාගේ දෑස රතු පාට වී තිබිණි. ඔහුගේ දෙඅත් වෙව්ලන හැටි දෙතොල සට සට ගා ගැහෙන හැටි ඉන්ද්‍ර දුටුවේය. ඔහුට සිහිපත් වූයේ දුර්වාස ඉසිවරයාගේ ශාපයට ගොදුරු වූවන්ගේ ලැයිස්තුවය. තම ජීවිතය ගැන මහා බයකින් ඉන්ද්‍රගේ හදවත සැලෙන්නට විය. ඔහු වහා ඇතු පිටින් බැස, දුර්වාසගේ දෙපාමුල දණගැසුවේය.  
‘‘මට ස...ස... සමාවෙන්න... සමාවෙන්න’’  


ඉන්ද්‍ර කීවේ ඉසිවරයාගේ දෙපා අල්ලා වැඳ වැටෙමිනි....’’ ‘‘කරුණාකර මට ශාප කරන්න එපා. මගේ උඩගු හැසිරීම මගේ එක නරක පුරුද්දක්. ඒ පුරුද්දෙන් ගැලවීමට මට තවම බැරිවුණා...’’  


‘‘ඒකට හේතුව උඹට මතක හිටින පාඩමක් ඉගෙන ගැනීමට නොලැබීමයි’’  


දුර්වාස කීවේ පෙර සේම දැඩි හඬිනි....  


‘‘අනේ... මට සමාවෙන්න’’  


ඉන්ද්‍ර එවර කීවේ දෑසේ කඳුළු පුරවාගෙනය.  


‘‘දැන් සමාව ඉල්ලුවට වැඩක් නෑ. මම උඹට ශාප කරල ඉවරයි’’ දුර්වාස කීවේය.  


‘‘කරුණාකරල ඒ ශාපය ඉවත් කරගන්න’’  


දුර්වාස මඳක් ඉවතට ගියේය. ‘‘මගේ ශාපය පළදෙන්නේ උඹට විතරක් නෙමේ. උඹේ මුළු දේව සභාවටම... උඹේ බලය ගිලිහෙනවා වගේම දේව සභාවෙ හැම දෙවියකුගේමත් බලය ගිලිහෙනවා...

හැම මොහොතකම වගේ හැම දෙවියකුටම අලසකමක් දැනෙනවා’’.  


ඉන්ද්‍ර හිස ගැස්සුවේ භය බීරාන්තවය...  


‘‘එපා... අනේ එහෙම කරන්න එපා... මට වෙනින් දඬුවමක් දෙන්න. නමුත් මගේ බලය නැති කරන්න එප...’’


ඉසිවරයා කිසිත් නොකියා බලාසිටියේය.  


දිව්‍ය ලෝකය තුළ තම බලය ගිලිහී ගොස් ඇති හැටි, මහා බලසම්පන්න අයිරාවත ඇත් වාහන හතර අහිමිව පයින් ගාටන හැටි ඉන්ද්‍රගේ නෙත් මත ඇඳී ගියේය.  


‘‘මට සමාවෙන්න...’’


ඔහු නැවත වරක් කීවේ හඬා වැටෙමිනි  


‘‘උඹ කළේ බරපතළ වැරැද්දක්. ඊට කිසිසේත්ම සමාව දෙන්න බෑ. මගේ ශාපය පරිදි සියල්ලම සිදුවේවි.’’


දුර්වාස ඉසිවරයා කෝපයෙන් පවසා යන්නට හැරුණේය.  


ඔහු ඇවිද ගියේ ආවාටත් වඩා වේගයෙනි.   


ඉන්ද්‍ර​ෙග් සිරුර දහදියෙන් නෑවිණි. අතපය පමණක් නොව දෙතොලද වෙව්ලන්නට වූයේය. නැවත වරක් ඉසිවරයාගෙන් සමාව ඉල්ලීමට සිතා ඉසිවරයා පසුපස දුවන්නට සැරසුණේය.  


එහෙත් එක් පියවරක්වත් ඔසවාගත නොහැකි අන්දමට ඔහුගේ ශක්තිය පිරිහී තිබිණි.  


ඔහු දුර්වාස ඉසිවරයා නික්ම යන මඟ දෙස බලාසිටියේය.  


‘‘ශාපය පලදෙනව...’’  


ඔහු තමන්ටම කියාගත්තේ ඇසෙන් කඳුළු වැගිරෙද්දීය. අන්තිමේදී ඉසිවරයාගේ රුව නොපෙනී ගියේය. නැගී සිටින්නට ශක්තිය ලැබුණු විගස ඉන්ද්‍ර ඇතු පිටට නැග්ගේ දුර්වාස ඉසිවරයා නික්මගිය ඉසව්ව දෙස බලමිනි. එහෙත් ඔහු පෙනෙන්නට නොසිටියේය.  


ඉන්ද්‍රගේ හිත පරාජිත සිතිවිලිවලින් පිරී තිබිණි. ​ඔහු බොහෝ වේලාවක් ගතකර සිය භවන බලා ගි​යේය.  


ගතට කිසි පණක් නැත. හිත ද හෝන්දු මාන්දුවෙනි.... ටික වේලාවක් අරමුණකින් තොරව බලාසිටි ඉන්ද්‍ර දෙවියා දේව සභාවට ගියේය. තම දේව සභාවේ සියලු දෙව්වරුන් හමුවී සිදු වූ අකරතැබ්බය පැවසිය යුතුය. මේ ශාපයෙන් ගැලවීම සඳහා කළයුතු දේ ගැන ඔවුන් හා සාකච්ඡා කළ යුතුය.  


එහෙත් ඉන්ද්‍ර දෙවියා දේව සභාවට පිවිසෙන විටත් දෙව්වරු සිටියේ අලස ලෙසය. හැම දෙවියකුම පසු වූයේ අඩ නින්දේ පසු වන්නාක් මෙනි.  


‘‘දුර්වාසගෙ ශාපය හැම දෙවියකුටම පළදීලා වගේ...’’  


ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය.  


‘‘සවන් දෙන්න’’ ඉන්ද්‍ර දෙවියා පැවසුවේය.  


එහෙත් දෙව්වරුන්ගේ අවධානය ඉන්ද්‍ර දෙවියන් වෙත යොමු නොවූ සේය. ඔවුහු මලානික ඉරියව්වෙන්ම නිද‌‌ා වැටුණහ.  


‘‘මා මෙන්ම ඔබ සැමත් දුර්වාස ඉසිවරයාගේ ශාපයට ලක්වයි සිටින්නේ. මගෙන් ඔහුට නිසි ගෞරවය නොලැබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් දැන් අපට ඔහුගේ ශාපය පලදී අවසන්. ඒ ශාපයෙන් ගැලවීම සඳහා කළ යුත්තක් යෝජනා කරන්න.’’


ඉන්ද්‍ර දෙවියා පැවසුවේය.  


එහෙත් දේව සභාවේ වාඩි වී සිටි එකද දෙවියෙක්වත් කටක් ඇරියේ නැත.  


ආරක්ෂකයා දේව සභාවට ඇතුළු වූයේ ඒ අතරවාරයේය.  


‘‘දෙවියනි, අපට අනතුරක්’’  


එහෙත් දේව සභාවේ කිසිවෙක් ආරක්ෂකයා ගැන අවධානය යොමු කළේ නැත. කියන්නට ආ දෙයටත් වඩා දේව සභාවේ වාඩි වී සිටින දෙව්වරුන්ගේ වෙනස ආරක්ෂකයාට පුදුමයට කරුණක් විය.  


‘‘කුමක්ද ගැටළුව’’  


අග්නි දෙවියා ළඟට ගිය ආරක්ෂකයා විමසුවේය. අග්නි දෙවියා සිදුව ඇති තත්ත්වය විස්තර කරන්නට වූයේය. ආරක්ෂකයා ඊට සවන් පෑවේ විසල් කර ගත් දෙනෙතිනි.  


‘‘එසේ නම් අපි අනතුරේ... අසුර හමුදාව අපට පහර දීමට දිව්‍යලෝකයට ඇතුල් වෙලා...’’  


ආරක්ෂකයා පැවසුවේ හීන් හඬිනි.  


සුර - අසුර යුද්ධයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. කාලාන්තරයක සිට අසුරයන්ගේ ප්‍රහාරවලට ලක්වෙන්නට දෙවිවරුනට සිදුවූයේය. එහෙත් කිසි දවසක දෙවියන් පරද්දන්නට අසුරයන්ට නොහැකි වූයේ ඉන්ද්‍ර දෙවියන් සතු අසීමිත විශ්මිත බලය හේතුවෙනි. එහෙත් දැන් ඉන්ද්‍ර ප්‍රමුඛ දෙව්වරුනට ඉසිවර දුර්වාසගේ ශාපය එල්ල වී ඇත. මේ නිසා අසුරයන්ගේ සටනින් සුර ලෝකය පරාද වනු ඇද්දැයි ආරක්ෂකයා බියට පත්ව සිටියේය.  


ඒ මොහොතේම පොළොව මත යමක් පතිත විය. යම් හඬක් නගමින් පුපුරා ගිය එය දෙස ආරක්ෂකයා සේම ඉන්ද්‍ර දෙවියන්ද බැලුවේ පුදුමයෙනි.  


‘‘කුමක්ද?’’  


ඉන්ද්‍ර දෙවියා විමසුවේය. 

 
‘‘දෙවියනි, අපි අනතුරේ ඔවුන් යුද්ධය පටන් අරන්’’   


ආරක්ෂකයා කීවේය.  


‘‘යුද්ධය - ඔවුන්?’’ඉන්ද්‍ර දෙවියා කියාගත්තේය.  


‘‘කවුද යුද්ධය පටන් අරන් ඉන්නෙ. මට වැටහෙන්නේ නෑ’’  


‘‘දෙවියනි, අසුරයින් නැවතත් සුර ලොවට පහර දීමට පටන් අරන්. මේ දැන් මෙහි පතිතවූයේ අසුරයන්ගේ අවියක්’’  


ආරක්ෂකයා කී විට ඉන්ද්‍ර දෙවියාගේ ඇස් උඩගියේය.  


මේ ප්‍රවෘත්තිය විශ්වාස කිරීමට නොහැකි තරම්ය. එහෙත් දැනටමත් අසුරයන්ගේ ප්‍රහාර ඇරඹී ඇත. ඔවුනට එරෙහි ප්‍රතිප්‍රහාර ආරම්භ කළ යුතුය. එහෙත් මේ මොහොතේ ඔවුන් සමඟ සටන් කිරීම සියදිවි නසාගැනීමක් වැනි යැයි ඉන්ද්‍රට සිතිණි. සැබැවින්ම අසුරයන්ට අභියෝග කර ඔවුන් හා සටනකට යෑමට තරම් ශක්තියක් දේව සභාවේ එකද දෙවියකුටවත් නොවීය.  


අසුරයන්ගේ තවත් අවියක් පැමිණ වැටුණේ ඉන්ද්‍රගේ දෙපාමුලමය.  


අඩනින්දේ පසු වූ දෙවිවරු වහා නැගිට දේව සභාවේ පිටවීමේ දොරටු සොයන්නට වූහ.  


‘‘පලායන්න... පලා ගොස් දිවි බේරාගන්න’’ ඉන්ද්‍ර දෙවියා කෑ ගසා කීවේය. ‘‘මේ මොහොතේ අපට කළ හැකි එකම දෙය දිව්‍ය ලෝකයෙන් පලායෑම පමණයි.’’   


මහා බලසම්පන්නව සිට බල බිඳුණු ඉන්ද්‍ර දෙවියාද දේව සභාවෙන් පමණක් නොව දිව්‍ය ලෝකයෙන්ද පලාගියේය.  


දිව්‍ය ලෝකයට කඩාවැදුණු අසුර හමුද‌ාව නොනවත්වාම ප්‍රහාර එල්ල කළේය. දේව සභාවට ද ඉන්ද්‍ර භවනටද අනෙකුත් දෙවිවරුන්ගේ විමනවලටද පහර දුන් මුත් එකද ප්‍රතිප්‍රහාරයක්වත් එල්ල වූයේ නැත.  


‘‘දෙවියන්ගේ උපක්‍රමයක් විය හැකියි’’ අසුරයෝ කල්පනා කළහ.  


මන්දයත් මින් ඉහත කිසි දවසක අසුරයන්ගේ ප්‍රහාරයක් හමුවේ දෙවිවරු නිහඬව සිට නැත.  


තම බලය දිව්‍ය ලෝකයේ ව්‍යාප්ත කිරීම අසුරයන්ගේ සිහිනයක්ව ඇත්තේ බොහෝ කාලයක සිටය. එහෙත් දෙවියන්ගේ උපක්‍රමශීලීත්වයත් ඔවුන් සතු නවීන තාක්ෂණික උපකරණත් හේතුවෙන් අසුරයන්ට හැමදාමත් සිදුවූයේ පරදින්නටය. පැරද පලා යන්නටය.  


එහෙත් මෙද‌ා සියළු දෙවිවරු නිද්‍රාශීලීය. මහා බලගතු දෙවිවරු දිව්‍ය ලෝකය අතහැර පලායන අයුරු අසුර හමුද‌ාවට දැකගන්නට ලැබිණි. මේ සතුටුද‌ායක ප්‍රවෘත්තිය අසුරයන්ගේ නායකයා වන බාලි වෙත රැගෙන යනු ලැබිණි.   


‘‘කුමක්ද පැවසුවේ’’  


බාලි ඇසුවේ විශ්වාස කළ නොහැකි ලෙසිනි.  


‘‘දෙවිවරු දිව්‍ය ලෝකය හැරගියා රජතුමනි’’  


‘‘මෙය ඔවුන්ගේ උපක්‍රමයක් විය හැකියි’’


බාලි පැවසුවේය.  


‘‘නමුත් මේ මොහොතේ ඔබ දිව්‍ය ලෝකයට පැමිණ එහි කිරුළ දැරිය යුතු වෙනවා...’’  


අසුර හමුද‌ාවේ ප්‍රධානියා පැවසුවේය.  


බාලි ප්‍රමුඛ අසුර සභාව දිව්‍ය ලෝකය බලා ගියේ රණ බෙර වයමිනි. ජයග්‍රහණයේ උද්දාමයෙනි, ප්‍රීති ප්‍රමෝදයෙනි.   


සැණකෙළියක් බදු මහා උළෙලකින් පසු බාලි රජු දිව්‍ය ලෝකයේ රජු ලෙස කිරුළු පැළඳුවේය. එතැන් පටන් අසුරයන් නටමින්ද ගී කියමින්ද කමින් බොමින්ද දිව්‍ය ලෝකයේ තිබුණු දිව්‍ය සැප සම්පත් පරිහරණය කරන්නට පටන් ගත්හ.  


මේ වෙනවිට ඉන්ද්‍ර ප්‍රමුඛ දේව සභාව සිටියේ දිව්‍ය ලෝකයෙන් බැහැරවය. දිව්‍ය සැප සම්පත් අහිමිව කම්පිතව සිටි දෙවිවරු ඉන්ද්‍ර දෙවියන් වටකරගෙන සිටියේ ඉන්ද්‍රගෙන් විධානයක් ලැබෙන තුරුය.   


‘‘අපි යමු බ්‍රහ්ම හමුවෙන්න. ලෝකය මැව්වේ ඔහු බැවින් මේ මොහොතේ අපිට පිහිට වෙන්න පුළුවන්කමක් ඇත්තෙත් ඔහුට පමණක් විය හැකියි’’ ඉන්ද්‍ර යෝජනා කළේය.  


ලෝකය මැවූ බ්‍රහ්ම වැඩසිටියේ සත්‍යාලෝකයේය. සත්‍යාලෝකයට ගිය දෙවිවරු බ්‍රහ්ම හමුවට ගොස් ඔහුගේ දෙපා නැමදුවෝය.  


ඉන්ද්‍ර, අග්නි, වාසු ප්‍රමුඛ දෙව්වරු තම දෙපාමුල දණ බිම ඇණගෙන සිටින හැටි බ්‍රහ්ම දුටුවේය.  


‘‘කුමක්ද ගැටළුව’’  


දිව්‍ය ලෝකයේ සිදු වූ සියලු සිදුවීම් නොඅඩුව දැන සිටියත් බ්‍රහ්ම, ඉන්ද්‍රගෙන් ඇසුවේය.  


‘‘පියාණෙනි’’ ඉන්ද්‍ර කීවේය...  


ඊළඟට දුර්වාස ඉසිවරයාගෙන් මල් දම ලැබුණු මොහොතේ පටන් අසුරයන්ගේ ආක්‍රමණය සිදුවීම දක්වා සියල්ල පැවසුවේය.  


බ්‍රහ්ම සිටියේ කෝපයට පත්වය.  


‘‘උඹ දේව සභාවෙ නායකයා. නායකයෙක් වුණාම හැම දෙවියෙක්ගෙම සුබසෙත ගැන හිතන්න ඕනෑ. තීරණයක් ගන්න ඕනෑ දෙතුන් වරක් හිතලා. හැසිරෙන්න ඕනෑ නිහතමානීව. ඉන්න ඕනෑ කල්පනාකාරීව. ඒත් උඹ දුර්වාස ඉසිවරයා ඉදිරියේ හැසිරුණේ අහංකාර විදිහට. දුර්වාස කියන්නෙ කවුරුත් ගෞරව කරන ඉසිවරයෙක්. ඔහුට නිසි ලෙස ගෞරව කළා නම් ඔය උද්ගත වුණු කිසිම ප්‍රශ්නයක් සිදුවෙන්නෙ නෑ. දුර්වාස ඉසිවරයාගේ ශාපයයි මේ ඔබට පළ​ෙදන්නෙ එයින් විපාක විඳින්නෙ ඔබ පමණක් නොවෙයි ඉන්ද්‍ර දිව්‍ය ලෝකයේ හැම දෙවියෙක්ම, දෙවඟනක්ම දැන් පීඩා විඳිනවා.’’  


‘‘මට සමාවෙන්න. මං පිළිගන්නවා මං හැසිරුණු විදිහ වැරැදි බව...’’   


ඉන්ද්‍ර කීවේ බ්‍රහ්මගේ දෙපා මත සුරත තබාගත්වනමය.  


‘‘පියාණෙනි, මට කමා කරන්න. සිදු වූ වැරැදි නිවැරැදි කර ගැනීම සඳහා මට උදව් කරන්න පියාණෙනි. ඉසිවර දුර්වාසගේ ශාපයෙන් අප බේරාගන්නා ලෙස ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා පියාණෙනි’’. 

 

 

 

 

 

 

 

 

 

 

 

ලබන සතියේ  ඉන්ද්‍ර, විෂ්ණු හමුව  
ශාන්ත කුමාර විතාන