1623 දී ලන්දේසි ජාතික ජෑන් කාස්ටෙන්ස් (Jan Carsetenz) ඕස්ට්‍රේලියාවේ උතුරේ පිහිටි කේප් යෝක් වලට ගොඩ බැස්ස විට ඇබරිජිනියන් වැසියකු අල්ලා ගත්තේය. එහි පරාමාර්ථය වූයේ නිව් හෝලන්ඩ් (ඕස්ට්‍රේලියාව) හා එහි ස්වදේශිකයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමය. ස්වදේශිකයන් එකකු හෝ ඉන් වැඩි ගණනක් අල්ලා ගැනීමට ඔහුට අණ ලැබී තිබිණි.
යකඩ කැබලි හා පබළු පට වෙරෙළේ තැබු විට ඒවා ළඟට ආ ඇබරිජිනියන් වැසියන්අතරින් හෙලල්යක් නැතිව සිටි අයකු කපිතාන් බඳවට කර අල්ලා ගත් අතර නැවේ ක්වෝට මාස්ටර් ඔහුගේ ගෙල වටා තොණ්ඩුවක් දමා ඔහු නැවට ඇද ගෙන ගියේය. අල්ලා ගත් තම සහෝදර සගයා බේරාගැනීමට හෙල්ල වලින් දරුණු ලෙස පහර දුන් නමුත් ලන්දේසින්ගේ වෙඩි තැබීම නිසා ස්වදේශිකයෝ පසු බැස ගියහ.
මෙම වාර්තාවට පසු අසන්නට ලැබෙන්නේ ඉංග්‍රීසීන් අරබනූ (Arabanoo) නම් ඕස්ට්‍රේලියානු ස්වදේශිකයා අල්ලා ගැනීමය.
1770 ට පෙර ඇමෙරිකා එක්සත් රාජධානිය ජනපද බ්‍රිතාන්‍යයන් සතුව තිබිණි. බ්‍රිතාන්‍යය සිරකරුවන් ඒවායේ වැඩට යොදවන ලදි. 1776 දී ජනපදිකයන්ගේ කැරලි නිසා ඉංගීසීන්ගෙන් එම කඳවුරු නිදහස් කර ගැනීමට හැකි විය. නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු ඉංග්‍රීසි සිරකරුවන් ගෙන්වීම තහනම් කෙරිණි.
1870 වන විට එංගලන්තයේ හිර ගෙවල් මිනිසුන් ගෙන් පිරී තිබිණි. හිර ගෙවල ඉඩ මදිවීම නිසා මීට තාවකාලික පිළියමක් ලෙස ඉංග්‍රීසි රජය මගින් ගෙන ගිය අබලන් තත්ත්වයෙන් තිබු පැරණි නැව් කුලියට හෝ මිලට ගෙන ඒවායේ සිරකරුවන් රඳවන ලදි. හල්ක්ස් යනුවෙන් හඳුන්වනු ලැබු මේවා ගංමෝය හා ගංදරණි වල නවතා තබන ලදි.
1770 අප්‍රේල් මස කැප්ටන් ජේම්ස් කුක් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයේ නිව් සවුත් වේල්ස් හි බොටනි බේ ප්‍රදේශය අනාවරණය කිරීමෙන් පසු එය සිරකඳවුරකට සුදුසු ජලය හා සරු පසින් යුත් ප්‍රදේශයක් බව වාර්තා කළේය.
එ් අනුව 1787 මැයි මස 13 වන ඉරු දින ආතර් පිලිප් යටතේ සිරකරුවන් ආහාර පාන හා උපකරණ සහිතව නැව් 11 ක් එංගලන්තයේ පෝට්ස් මවුත් වරායෙන් පිටත් විය. 1788 ජනවාරි මස 18 වන දා ආතර් පිලිප් සිටි H.M.S. සප්ලයි නැව ප්‍රථම කොට නිව් සවුත් වෙල්ස් හි බොටනි බේ වලට ළඟා විය. සියලුම නැව් ළඟා වූයේ ජනවාරි මස 20 වන දාය.
ඉංග්‍රීසීන්ගේ පැමිණීම ස්වදේශිකයන්ගේ අප්‍රසාදයට ලක් විය. ඉංග්‍රීසීන් ඕස්ට්‍රේලියාවේ ජනපද පිහිට වූ දා සිට ස්වදේශිකයන්ගෙන් (Aborigines) සිදුවන හිරිහැර, සොරකම් කිරීම්, ඉංග්‍රීසීන් මරා දැමීම ආතර් පිලිප් ආණ්ඩුකාරයාට මහත් ප්‍රශ්නයක් විය. ස්වදේශිකයන් කීප දෙනෙකු බලයෙන් අල්ලා තබා ගෙන ඔවුන්ගේ තොරතුරු මෙන්ම භාෂාව සිතුම් පැතුම් සිරිත් විරිත් දැන ගැනීමටත් ඉංග්‍රීසීන්ගේ බස ඔවුනට ඉගැන්වීමටත් එමගින් දෙපක්ෂය අතර සබැඳියාව සමගිය හා මිතුරු කම ඇති කිරීමටත් ආණ්ඩුකාරයා කල්පනා කළේය.
මේ නිසා ආතර් පිලිප් ආණ්ඩුකාරයා ස්වදේශිකයන් කීප දෙනෙකු අල්ලා ගෙන ඒම සඳහා 1788 දෙසැම්බර් මස 31 වනදා සප්ලයි නැවේ ලෙප්ටිනන්ට් බෝල් හා නාවික හමුදාවේ ලෙප්ටිනන්ට් ජෝර්ජ් ජොන්සන් යටතේ බෝට්ටු දෙකක් පිටත් කර ඇරියේය. මේ බෝට්ටු ස්වදේශිකයන් කීප දෙනෙකු සිටි මෑන්ලි තුඩුවට ගියේ ශිෂ්ට විදියට හැසිරීමෙන් හා තෑගිදීමෙන් ඔවුන් කතාවට පොලඹවා ගැනීමේ චේතනාවෙනි.
නිසි අවස්ථාව එළඹි විට ඉංග්‍රීසීහු ඉදිරියට පැන ඔවුන්ගෙන් දෙදෙනකු අල්ලා ගත්හ. මේ අල්ලා ගැනීම සිදුවූයේ ඉංග්‍රීසීන් නිව් සවුත් වේල්ස් වලට ගොඩ බැස මාස 11 ක් පමණ ගත වූ පසුවය. ඉතිරි අය පලා ගියහ. අල්ලා ගත් දෙදෙනාගේ කෑ ගැසීම නිසා ඔවුහු තවත් අය සමග පැමිණියහ. දෙදෙනාගේ දැඟලීම දරුණු වු නිසා එකෙක් ගැලවී ගියේය. ඉංග්‍රීසීහු ඉක්මනින් බෝට්ටු දියත් කළහ.
හෙල්ල, ගල්, ගිනි ඉංග්‍රීසීන් වෙතට එල්ල විය. තුවක්කුවෙන් වෙඩි තබන තුරු ඔවුහු පලා නොගියහ.
අල්ලා ගත් ස්වදේශිකයා බෝට්ටුවේ හරහට ලණු වලින් බැඳ තබන ලදි. ඔහු තම මිනිසුන්ගෙන් වෙන් වු විට දරුණු ලෙස විලාප නඟමින් ශෝකයෙන් අඬන්නට විය. නමුත් ඔහුගේ දුක ඉක්මනින් නැතිව ගියේය. ඔහුට දෙන ලද තැම්බු මස් කෑවේය. ඔහු ඉක්මනින් ඔහුගේ ඉරණමට යටත් විය. ඔහු සිඩ්නි වලට පැමිණි බව දැන ගත් වොට්කිං ටෙන්ච් (Watkin Tench) අනෙක් අය මෙන් ඔහු බලන්නට ගියේය. (වොට්කිං ටෙන්ච් යනු මේ විස්තරය තම පොතේ අපූරුවට ලියු ලේඛකයාය.) අල්ලා ගත් තැනැත්තා අවුරුදු 30 ක් පමණ වයසේ සිටියෙකි. උස නැති වුවත් වැඩී ඇති සිරුරකින් යුත් හැඩි දැඩි අයකු විය. ඔහුගේ කට හඬ මොළොක්ය. මිහිරිය. ඔහුගේ සැනසීමට බොහෝ දේ කරන ලදි.
ඔහු ආණ්ඩුකාරයාගේ නිවසට ඇතුළු වන විට කෙනෙකු දොරට උඩින් සවි කර තිබු කුඩා සීනුවක් නාද කළෙන් ඔහු බියෙන් හා පුදුමයෙන් තිගැස්සුණේය. ඔහුගේ හිතේ කලබලය ගැන ඔහුට සිනාගියේය.
ඉංග්‍රීසී ළඳුන් කෙරෙහි ඔහුට විශේෂ ආචාර සම්පන්න ඇල්මක් ඇතිවිය. ඔහුගේ බිය පහව ගියේය. හීලෑ කුකුළන් ඔහු ඉදිරි පිට කෑම කනු ඔහු දුටුවේය. ඉංග්‍රීසීන්ගේ බල්ලන්ට ඔහු විශේෂයෙන් සැලකිල්ලක් දැක් වුවත් උන්ට ඇලුම් කිරීමට වඩා බිය ගතියක් දැක්වීය.
ඔහු ආණ්ඩුකාරයාගේ මේසය අසල පිහිටි මේසයක කෑම කෑවේය. ඔහු තාරා මස් හා මාළු උනන්දුවෙන් කෑවේය. පාන් හා ලුණු දැමු මස් ඉව කර බැලු නමුත් රස නොබැලීය. සියලුම බීම වර්ග පිළි ගැන් වූ නමුත් වතුර මිස ඒවා නොබීවේය.
සවස ඔහුගේ කොණ්ඩය කපා පීරන ලදි. රැවුල කපන ලදි. ඉංග්‍රීසිකාරයකු හට මේ දේ කරනු දකින තුරු ඔහු මේ ක්‍රියාවට ඉඩ නුදුන්නේය. ඔහුගේ කෙස් උකුණන්ගෙන් පිරී තිබිණී. සබන් සහිත වතුර භාජනයක ගිල්වා සම්පූර්ණයෙන්ම සෝදා හිස සිට දෙපතුළ දක්වාම කුණු ඉවත් කර කමිසයක් ජැකට් එකක් හා කලිසමක් අන්දවන ලදි.
ඔහුගේ නම දැන ගැනීමට උත්සහ දරන ලද නමුත් නොහැකි විය. ඒ නිසා ආණ්ඩුකාරයා ඔහු අල්ලා ගන්නා ලද තැන වන මුහුදු බොක්කේ නම වූ මෑන්ලි යන්න ඔහුට තැබීය. එම නම එතැනට තැබීමට හේතුව වූයේ ස්වෙදේශික පිරිසකගේ ශිෂ්ට හැසිරීමට උපහාරයක් වශයෙනි. පලායෑම වැළැක්වීමට කඹයක සවි කළ මාංචුවක් ඔහුගේ වම් වළලු කරේ දමන ලදි. මුලදී ඔහු මීට ඉතා අප්‍රසාදයක් දැක්වූයේ එය වළල්ලක් යැයි සිතූ නිසාය. එය දැමීමේ අදහස දැන ගත් විට ඔහුගේ සතුට කෝපයට හා ද්වේෂයට හේතු විය.
රාත්‍රී ආහාරය ඔහු සකස් කර ගත්තේය. මේ සඳහා ඔහුට මාළු දෙන ලදි. ඔහු ඒවා නිකම්ම ගින්නට විසි කළේය. ඒවා රත් වූ විට ඉවතට ගෙන කොරල් ඉවත් කර දත් වලින් හම ගලවා එය කෑවේය. ඊළඟට බඩ වැල් ඉවත් කර නැවත ගින්නට දමා සකසා කෑවේය.
ඔහු සමග නිදා ගැනීමට හා ඔහු යන තැන ඔහු රැගෙන යාමට සිරකරුවකු යොදවන ලදි. කාමරයට ගිය විට ඔහු අපහසුවෙන් හා අවිවේක බවකින් පෙළුණේ ආලෝකය තිබූ නිසාය. එය නිවු විට ඔහු ඉක්මණින් බිම දිගා වී සංහිඳියාවක් ලැබීය.
පසුදා උදේ ඔහුගේ මුහුණින් කළකිරුණු ස්වභාවය හා අධෛර්ය පිළිඹිබු වූයෙන් ඔහු කඳවුර වටා ගෙන යන ලදි. ඔහුගේ මිනිසුන්ගේ දුමක් නැගෙනු දැක ඒ දෙස උන්නදුවෙන් බලා සිටියේය. ඔහු දෙතුන් වරක් හූල්ලා Gweeun ගින්දර යන්න පළ කළේය. ඔහුගේ ප්‍රකෘති ජීවිය නැති වීම ඔහුගේ බඩ ගින්න කෙරෙහි බල නොපෑවේය. එකෙක් රාත්තලක් පමණ බර ඇති මාළු කූරි 8 ක් උදේට දෙන ලදි. ඔහු ඒවා පෙර පරිදි පිළියෙල කොට කෑ පසු ඔහු භාවනා ඉරියව්වෙන් ගින්නට පිටු පස හරවා එයට ළංවූ විට කමිසය ගිනි ගත්තේය. ඔහුගේ ආරක්ෂකයා වහා ගින්න නිවා දැම්මේය. ඔහු මෙයින් කොතරම් බිය වූවාදයත් තව කමිසයක් ඇන්ද වීමට පොලඹවා ගනු ලැබුවේ අමාරුවෙනි.
ඔහුගේ නම අරබනූ (Arabanoo) බව පසුව දැන ගන්නා ලදි. අරබනුට ඉංග්‍රීසීන්ගෙන් හිරිහැරයක් සිදු වී නැති බව ඔහුගේ මිනිසුන් දැන ගනු පිණිස ආණ්ඩුකාරයා ඔහු බෝට්ටුවකින් වෙරළට ගෙන ගියේය. අරබනූ දටු ඔහුගේ මිනිස්සු ආපසු හැරී ගියහ. අරබනු බොහෝ සේ කම්පා වී කඳුළු සැලුවේය. අන්තිමේදී ස්වදේශීහු කතා කළහ. ඔවුන් නොයෙක් දේ දෙඩු නමුත් ඉංග්‍රීසීන්ට ඒවා නොතේරිණි. ඔවුන් විමසනුයේ අරබනු බෝට්ටුවෙන් පැන නොඑන්නේ මන් දැයි අසන බව ඉංග්‍රීසීන්ට වැටහිණි. ඔහු හූල්ලා ඔහුගේ කකුලට දමා ඇති මාංචු පෙන්වීය.
ඔහුට රෑ කෑමට රැට් කැන්ගරු දෙදෙනෙකු ද (එකෙක් හාවකුගේ ප්‍රමාණය) ඊට එකතුවක් වශයෙන් රාත්තල් 3 ක පමණ මාළු ද ලැබිණි. ඔහු පාන් අනුභවයට පටන් ගත්තේය. තේ බීම ද ප්‍රිය කළේය. මධ්‍යසාර පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළේය. ඉංග්‍රීසින්ගේ බල්ලන් බිය උපදවන සතුන් නොවී ඔහුගේ ප්‍රියතම හුරතලුන් විය. ඔහු සිරිත් විරිත් ආචාර විධි ගැන කථා කළේය.
1789 පෙබරවාරි මස 17 වනදා සප්ලයි නැව නෝෙෆා්ල්ක් දූපතට යාත්‍රා කළේය. ආණ්ඩුකාරයා අරබනු ද රැගෙන ගියේය. එහිදී ඔහු හදිසියේ මුහුදට පැන්නේය. ඔහුට වෙඩි තබා වී යැයි සැකෙන් ඔහු දිය යට කිමිදුණේය. ඔහු හොඳ පීනුම්කරුවකු විය. ඔහුගේ ඇඳුම පාවෙන සුලු වු නිසා ඔහුට දිය යට කිමිදීමට නොහැකි විය. බෝට්ටුවක් පිටත් කර ඔහු නැවට ගන්නා ලදි.
ඉංග්‍රීසි ළමයින් ඔහු බැලීමට ඔහු වටා රොක් වූ විට ඔහු ආහාර ගනිමින් සිටියේ නම් ඔවුනට හොඳම කොටස ඔහු පිරි නැමුවේය.
මේ කාලයේ සිඩ්නි වරාය ප්‍රදේශයේ ඇබරිජිනුවන්, යුරෝපීයයන් විසින් ඔහුන් සමග ගෙන එන ලද වසූරිය රෝගයෙන් මිය යන්නට පටන් ගැනිණි. සිඩ්නි මුහුදු බොක්කේ පිහිටි රෝහලට සමහර රෝගීන් ඇතුළත් කරන ලදි. අරබනු ඔවුනට සාත්තු කිරීමට උදව් වූයේය.
ස්වදේශික පවුලක් වසූරියෙන් පෙළෙන බව දැනගත් විට ආණ්ඩුකාරයා අරබනූ හා සර්ජන් කැටිව බෝට්ටුවකින් එතැනට ගියහ. ගිනි දැල් වූ දර ගොඩක් ළඟ මහල්ලකු වැතිරී සිටිනු දක්නට ලැබිණි. අවුරුදු 9 ක් හෝ 10 ක් වයසැති ළමයෙක් ඔහුගේ හිසට කටුවකින් (Shel) වතුර දමමින් සිටියේය. ඔවුන් ළඟ ගැහැනු දරුවෙක් මියගොස් සිටියාය. මව ද මියගොස් සිටියාය. අසරණ පිරිමි ළමයාගේ හිස සිට පතුල දක්වා බිබිලි වලින් වැසී තිබිණි.
ඔවුන් ගලවා ගැනීමට නුපුළුවන් බැව් ඔවුනට අවබෝධ වුයෙන් ඔවුන් ඉවත්කිරීමට තීරණය විය. අරබනූ ඔහුගේ චරිතයට එරෙහිව යම් උදව්වක්කිරීමට ඉදිරිපත් නොවූ නමුත් ඔහුගේ අකැමැත්ත ක්‍රමයෙන් පහව ගොස් ඔවුනට කාරුණිකව උපස්ථාන කළේය. ගැහැනු ළමයාගේ මළ සිරුර වළදමන තුරු ඔහු එතැනින් ඉවත් නොවීය. අරබනූ අතින් වැල්ලේ වළක් හාරා තණකොළ අතුරා ඒ මත මිනිය තබා එය තණ කොළ වලින් වසා පස් වලින් වසා හෑරූ පස් වලින් එය කන්දක් මෙන් සකස්කළේය. දෙවියන්ට යාතිකා ආදිය නැතිව කෙළවර විය. ගැහැනියගේ මළ සිරුර අරබනූට නොපෙන්වන ලෙස ආණ්ඩුකාරයා අණ කළේය.
මහලු මිනිසා සහ පිරිමි ළමයා සිඩ්නි බොක්කේ සර්ජන් වයිට් ගේ රෝහල අසල බෝ වන රෝගී ලෙඩුන් සඳහා වෙන් කළ පැලක තබන ලදි. මහලු මිනිසාට අරබනූ සාත්තු කළේය. මහලු මිනිසා පැය කීපයක් ජීවත් වූයේය. ඔහු මරණයේ බලවත් වේදනා ශාන්තභාවයෙන් ඉවසා ගත්තේය. ඔහු අන්තිම මොහොත සිහියෙන් ගත කෙළ්ය. කෙඳිරීමක් නැතිව අවසන් හුස්ම හෙළීය. පිරිමි ළමයා නන්බරි මේ මොහොතේ නොසැලී සිටියේය. උද්වේගකාරී හැඟීම් වලින් තොරව පැහැදිලිව Boee මැරිලා කීවේය. මෙය ඉංග්‍රීසීන් මවිතයට පත් කළ අවස්ථාවක් විය.
පිරිමි ළමයා ගැන මහලු මිනිසාගේ කරුණාවන්ත බව හා තැවිල්ල ඉතා කම්පාකරවනසුලු විය. ඔහු අමාරුවෙන් හිස ඔසවා ළමයා සිටි තට්ටුව දෙස බලා ළමයාගේ ආරක්ෂාවට හා දයාවට ළමයා බාරදෙන බවක් පෙන්නුම් කළේය. අරබනූ විසින් ඔහු වළ දමන ලදි. නිලධාරීහු දෙදෙනෙක් ගැහැනිය වළදැමූහ.
සර්ජන් ජනරාල් වයිට් විසින් නන්බරී ඔහුගේ පවුලේ කෙනෙකු සේ හදා වඩා ගන්නා ලදි. අරබනූ කෙරෙහි ඉතා පැහැදුණු ආණ්ඩුකාරයා ඔහුට නිදහසේ ඉන්නට සලස්වා ඔහුගේ පා විලංගු ඉවත්කිරීමට නියම කළේය.
1789 මැයි මස 18 වන දා අරබනූ මිය ගියේය. ඔහු මියගියේ වසූරිය වැලඳීමෙනි. අනුන් වෙනුවෙන් අරබනූ දැක්වූ සැලකිල්ල සංවේගය උපකාර පිළිබඳ විස්මයට පත් ජනපදයේ බොහෝ දෙනෙක් අරබනූ ගේ මරණයෙන් කම්පා වූහ.
අරබනූ ආණ්ඩුකාරයාගේ වත්තේ මිහිදන් කරන ලදි. ජනපදයේ සියලුම නිලධාරීහු ද ආණ්ඩුකාරයා ද ඔහුගේ මළ ගමට පැමිණ ඔවුන්ගේ ශෝකය හා ගෞරවය පළකළහ.
ප්‍රැන්සිස් බුලත්සිංහල