ඇය මගේ අම්මාය


රසවිත කෙටි කතාව

 

පොතට ම රැඳුණ සිතින් යුතුව නිසොල්මනේ වැඩ කරන ළමයින් දෙසට මගේ නෙත යොමුවූයේ මා පන්තිය වටා ගමන් කරන අතරේය. සෑම ළමයකු තුළින් ම අපූර්වත්වයෙන් යුත් ආකර්ෂණීය බවක් දිස්වන නමුදු සෙසු අයට වඩා චාමර ඉස්මතුව නැගී සිටියි. ඔහු ඉතා නිසොල්මන්ය. එහෙත් පසුබට නොවෙයි. චාමර හිස ඔසවා මා දෙස බලා මඳ සිනාවක් පා යළිත් වැඩෙහි නිරත වෙයි. හවස් වරුවේද පාසලේ රැඳී සිටීමට සිදුවී තිබුණේ අතිරේක වැඩ කොටසක් සපුරාලීමට යෙදී තිබීම නිසාය. මම චාමරටත් එක්කම බත් පාර්සලය සූදානම් කරමි.  


‘‘ටීචර්, මම බෝඩිමේ ඉන්නෙ. කෑම ගෙනාවෙ නෑ.’’
 ‘‘ඇයි අම්මා?’’  
‘‘අම්මා අපිව බෝඩිමට දාල රට ගියා,   
කවදහරි ඒවි’’  


ඔහුගේ දෑස කඳුළු වලින් පිරී ගියේය. පන්තියෙන්ම දක්ෂයා වූ ඔහුට ළමයින්ගේ හිතවත්කම බොහෝසෙයින් ලැබී තිබුණි. මම ඔහුට අතිරේක පොත පත ලබා දුනිමි. වාරාවසාන නිවාඩු දිනයේදී සෙසු ළමයින්ගේ හිසේ මල් පිපුණා සේ වුවද චාමර දෑසේ කඳුළු දරාගෙන මැලවුණු වතින් යුතුව සිටියේය.  
‘‘පුතාල අහල බලන්නකො චාමර අඬන්නෙ ඇයි කියලා’’  


සෙසු ළමයින් අමතා මම පැවසුවෙමි.
‘‘ටීචර්ව දාල යන්න දුකයිලු’’  
‘‘පුතේ, ඔයාව අරන් යන්න අපට අවසර නැහැනෙ’’  


ම​ගේ හදවත කම්පාවෙන් බර වී ගියේය. කෙසේ හෝ නොදැනුවත්වම නිවාඩු කාලය ගෙවීයද්දී චාමර කුසීත ලෙස බෝඩි​මේ රැඳී සිටියේය.  
විභාගය ළංවත්ම හැමෝම මහත් ධෛර්යයෙන් යුතුව එයට මුහුණ දුන්හ. ප්‍රතිඵල ආ දිනයේ ඔවුන්ගේ උත්සාහයේ මල් ඵල ගැන්වී තිබුණි.  


දක්ෂ අදක්ෂ හැම දෙනාටම ත්‍යාග ප්‍රදානය සඳහා සූදානම් වීමට නියමිත ව තිබූ අතර ශිෂ්‍යත්වය සමත් වූ අයට එහිදී විශේෂත්වයක් හිමි වී තිබුණි. කුරුළු රෑන් සේ ඔවුහු ප්‍රීතියෙන් සැරි සැරූහ. දෙමාපියන් සමග මේ සතුට බෙදා ගැනීමට ලැබීම ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය දෙගුණ තෙගුණ කිරීමට සමත් වී තිබුණි. චාමර වැඩි ලකුණු ලබා විශිෂ්ටයකු වී සිටියේය.  


‘‘හායි! චාමර..  


ඔයා තමයි අද මෙතන වැදගත්ම ශිෂ්‍යයා... වැඩිම ලකුණු ඔයාටනෙ’’ මම ඔහුගේ දෑත අල්වාගෙන යළිත් මගේ සතුට ඔහුට පළ කළෙමි. ඔහු කාන්තාවකසේ ඇඟේ වෙලෙමින් පසුවෙයි. ඇය හරිම ප්‍රසන්න බවකින් සිටියි. චාමරගේ හැඩරුවටද සරිලයි.  


මේ...  
මම ප්‍රශ්නාර්ථය දල්වා බලා සිටියෙමි.  
‘‘අම්මා රට ඉඳල ආවනෙ’’  
ඔහුගේ ප්‍රසන්න මුහුණේ සිනා මල් පොකුරු පිපී ඇත.  


‘‘කොහොමද දැන ගත්තෙ? ප්‍රතිඵල ගැන’’ නෑයො මට පිණිවිඩයක් එවල තිබුණ...  
ඇයගේ පැහැපත් මුහුණ සොවින් බරවී ගියේ එකවරටමය. ගත සරසා සිටි ලස්සන බෝඩරයක් වැටුණ සිල්ක් සාරිය මතට කඳුළු බිඳු වැටෙන්නට විය. ගෙළ සැරසුණේ රන්වන් මාලයකින් බව පැහැදිලිය. මුතු කඳුළු බිඳුවේ දිස්නය එය හා සැසඳුණි.  


‘‘පුතා, ටීචර් එක්ක කතා කරන්න ඕනෑ’’ ඔයා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා එන්නකො.  
චාමර මිටින් මුදාහල කුරුල්ලකු සේ පන්ති කාමරයෙන් පිටතට පැන ගියේය.  
‘‘පුතා බෝඩිමක නැවතිලා ඉන්නව කීවනෙ. අම්මා රට ගියා කිව්ව’’  
ඉතින් ඔයා ආවෙ කවදද? මම පැවසුවෙමි. ඇයට කතා කරන්නට අපහසු වූවා සේය.  
ටීචර්, පුතාගේ තාත්ත නැති වුණා. කල්යද්දි හාදයෙක් මාත් එක්ක හිතවත් උණා. මටත් ආදායමක් නැති හන්ද මම බඳින්න කැමති වුණා.  


ඒත් එයා කිව්ව දරුව නම් බාරගන්න බෑ කියලා. මම පිටරට ගියේ නෑ. මේ රටේමයි එයා එක්ක හිටියේ. එත් පුතාට කිව්වේ මම රට යනව කියල. කාලෙකින් මම පුතාව දැක්කෙ. දැන් මම බැඳපු එක්කෙනා ළමයව ගන්න කැමතියි කිව්ව.  


මම අම්මා කෙනෙක් කියලා කියන්න බෑ නේද ටීචර්?’’  
ඈ මා වැළඳගෙන හඬා වැටුණාය.  


මට මහත් සතුටක් දැනෙයි. උත්සව සභාවේ දී සිසුන්ගේ විශේෂ කථාව භාරවී තිබුණේ චාමර වෙතටය. ඔහුට කථාව පුහුණු කිරීමේදී ඔහු තුළ වූ කථික ශක්තිය ගැන මට ආඩම්බරයක් දැනුණි. මම ඔහු පවසන දේ අසා සිටියෙමි. ඔහු ඒ සෑම වරකම දෑස මා වෙතට යොමු කළේය.  


වරක් හෝ මව වෙතට ඔහුගේ දෑස යොමුවන විට ඇය සාරිපොටින් මුහුණ වසාගන්නා බව මම දුටුවෙමි. මා ඔහුට දුන් සහනය අපමණය. මවකගෙන් හිස් වූ ළයට සතුට දුන් මවක් වූයෙමි.  


එහෙත් ඇය ඔහුගේ අම්මාය.

 

 

පියසීලි විජේනායක