අරිප්පු වෙරළේ මුතු කිමිදීම


 

ඉන්දු සයුරේ බබළන මුතු ඇටය නමින් ලක්දිව හැඳින්වෙන්නේ අද ඊයේ පටන් නොවේ. වසර තුන්දහසක කාලයේ පටන්ය. සමහරු ලංකාවට මෙම විරුද නාමය පටබැඳුණේ ලක්දිව භූ විසමතා හැඩය අනුව යැයි පිළිගත්තත් සැබෑ හේතුව එය නොවේ. වසර තුන් දහසක කාලයක් ලෝකයට හොඳම මුතු ලබාදුන් රට යන අදහසින් ඉන්දු සයුරේ මුතු ඇටය යැයි නම් පටබැඳිණි. වසර තුන්දහසක කාලයක් මන්නාරමේ මරිච්චි කට්ටි, සිලාවතුර, අරිප්පු භූමි ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන හලාවත වෙරළ දක්වා තීරුවේ මුතු බෙල්ලන් කැඩීමේ කර්මාන්තයක් පවත්වාගෙන යන ලදී. මේ කාලය පැරණි ලක්දිවට ඉහළ ආදායමක් උපයා දුන් කාලයක් ලෙස එතෙර මෙතෙර මූලාශ‍්‍රවල ලියැවී තිබේ. 

 

අරිප්පුවේ මුතු කඩන කාලයට තිස්දහසකින් පමණ යුත් ජනතාවක් අරිප්පුව ප‍්‍රධාන කොටගත් වෙරළ තීරයට රැස්වන බව ද දින 117ක කාලයක් සඳහා මෙම වෙරළ තීරයේ තාවකාලික නගරයක් ඉදිවන බව ද 1848 දී ඉංග‍්‍රීසි ලේඛක ජේම්ස් ස්ටුවට් විසින් ලියන ලද ඇන් එකවුන්ට් ඔෆ් ද පර්ල් ෆිෂරිස් නමැති කෘතියේ සඳහන් වේ. එම නගරය එතෙර මෙතෙර වෙළෙඳුන්ගෙන්, නාට්‍ය ශාලාවලින්, නාටිකාංගනාවන්ගෙන්, පාදඩයන්ගෙන්, බත්කඩවලින් ආදී නගරයක ඇති සියලු දෙයින් පරිපූර්ණව පැවැති බව සඳහන්ය. වසර තුන්දහසකට වැඩි කාලයක් ලොවට මුතු සැපයූ අරිප්පුව එක්දහස් නවසිය විස්ස පමණ වනවිට මුතු ලැබීම අඩුවී ගිය අතර එක්දහස් නවසිය පනහ පමණ වනවිට සම්පූර්ණයෙන්ම මුතු සම්පත නැතිවී ගියේය.  


අරිප්පුව සුන්දර මුහුදු වෙරළකි. අද එහි දක්නට ඇත්තේ බොහෝ කාලයක් තිස්සේ මුතු කැඩූ බවට සාක්ෂි හැටියට ඉතුරු වූ ලක්ෂ ගණනක් වූ බෙලිකටු සහ ලංකාවේ ප‍්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ෆෙඩ්රික් නෝත් විසින් අරිප්පුවේ ගොඩ නංවන ලද යෝධ ප‍්‍රාසාදයේ නටබුන් පමණි. එවකට තිබූ මුතු බිම් පාලන ගොඩනැගිල්ල වෙනුවට නෝත් විසින් අලුතෙන් ගොඩනංවන ලද මෙම ගොඩනැගිල්ලේ නටබුන් කාලයාගේ ඇවෑමෙන් අත්හැර දමනු ලැබ අද වනවිට මුහුදට සේදී යමින් පවතී. මෙය හැඳින්වෙන්නේ ඩොරික් බළකොටුව නමිනි. ජේම්ස් ස්ටුවට්ගේ කෘතියෙන් අනුවර්තනය කරගත් මේ කොටස කියවන්න. “1839 අවුරුද්දේ මුතු වාරය මෑතක අන් හැමදාටම වඩා ජය වුණේය. මුතුබෙල්ලන් පොකුරුපිටින් අහුවන බවට ඊට කලින් අවුරුද්දේ පැතිර ගිය ආරංචිය නිසා තමිල්නාඩුවේ ටුට්රිකොන් සිට ද අන්දමන් දූපත්වල සිට ද මුතු වෙළෙන්දෝ අරිප්පුවට ආහ. ඉංගිරිසි ආණ්ඩුවේ මුලාදෑනින් තොග පිටින් අරිප්පු කොටුවට ආවේ මුතු වාරයට මාසයකට පමණ පෙර සිටය. මේ වාරයේ මුතු නෙළීම ජයටම කෙරෙන බවට ඉඟි පළවූයෙන් මුතු නෙළීම භාර සුපිරින්ටැන්ඩන් තමාගේ නිලධාරීන් අරිප්පුවට යවා තිබුණි. කොණ්ඩච්චි බොක්කේ පටන් සිලාවතුර දක්වාම අරිප්පු වෙරළත් එක්ක මූදු සැතැප්ම විස්සක දුර මුතුබෙල්ලන් ගැවසුණත් සල්පිල තිබුණේ අරිප්පු වෙරළේය.  


ක‍්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය විසිනවයේ පෙබරවාරියේ දවසක ද වැල නොකැඩී ගලා එමින් සිටි ජනතාව අරිප්පු වෙරළේ එසේ කඳවුරු බඳිමින් සිටියහ. ඒ වසරේ මුතු නෙළන වාරයේ ලංසු තැබෙන්නේ පසුදිනය. ඉංගිරිසි නිලධාරීහු මුහුදු ගොස් මුතු කඩන වෙළෙන්දන්ගේ ලංසුවලින් වැඩි මිල ලංසු ටික තෝරාගෙන ඔවුන්ට මුතු පර බදුදෙන්නේ පසුදිනය. මේ නිසා මන්නාරමේ ශුෂ්ක පොළොවට එදින සිට වසන්තය ලබයි. නව මාසයක්ම අව් කෑමෙන් රත්වන මන්නාරම් ගොඩබිම දහස් සංඛ්‍යාත ජනතාවකගේ පා පහස ලබන්නේ එදිනය. මේ නිසා පෘතුගාල බොක්කේ කෙළවර අරිප්පු වෙරළේ පිහිටි සිය ගණන් පැල්පත්වලට ද මුතු බෙල්ලන් කුණුවෙන්නට ගොඩ ගසන කොඩ්ඩු තුළට ද  රැස්වන දහස් ගණන් ජනයා පසුද‌ා ඇරඹෙන උත්සවය දකිනතුරු නොඉවසිල්ලෙන් පසුවෙති. අල්ලාගෙන ඒමෙන් පසු බෙල්ලන්ගේ මස් කුණුවනතුරු ගොඩගසා තබන ආවරණ හැඳින්වෙන්නේ “කොඩ්ඩු” නමිනි. එය කොටුවන්න අරුත ගෙන දේ. මේ භූමිය රාත‍්‍රී කාලයට සිය ගණනක් වූ පන්දම් එළිවලින් ආලෝකවත් වෙයි. දුර බැහැර සිට කරත්තවලින් ආ දහස් ගණන් ජනයා පැල්පත් අටවාගත් හෙයින් මේ බිම අගනුවරක සිරිය ගනියි.  


පහත දැක්වෙන කොටස ද ජේම්ස් ස්ටුවට්ගේ ඉංග‍්‍රීසි කෘතියෙන් උපුටා ගැනීමකි.  


ඒ අවුරුද්දේ මෙතරම් විශාල පිරිසක් මුතු කැඩීමට ඒමට ප‍්‍රධාන හේතුව වූයේ ඉංගිරිසි ආණ්ඩුව අලුත් මුතු පරයක් සොයා ගැනීමය. පිට පිටම වසර තුනක් මුතු පරවලින් ආදායම් නොමැති බව ආණ්ඩුකාරයාට දැනුම් දීමේ ප‍්‍රතිඵලය ලෙස නිලධාරියකු මන්නාරමට යවා මේ ගැන පරීක්ෂා කිරීමට ආණ්ඩුකාරයා තීරණය කළේය. පළමුවෙන් යවන ලද නිලධාරියා මැලේරියා උණ සෑදී මළේය. දෙවැනියා සම්පූර්ණ වාර්තාවක් ගෙන ආවේය. ඔහු කීවේ ඉන්දියානු කිමිඳුම්කරුවන් පැමිණ හොරෙන් මුතු කඩාගෙන ගොස් ඇති බවයි. නියමිත ආගමික වතාවත් ඉටුනොකරන නිසා මුතු බෙල්ලන් ගැඹුරු මුහුදට ගොස් ඇතැයි බොරු ප‍්‍රචාරයක් යැවූ ඉන්දියානු කිමිඳුම්කරුවෝ ප‍්‍රදේශය ජනශූන්‍ය වන්නට ඉඩහැර ඉන්පසු යාත‍්‍රා සියගණනකින් පැමිණ මුතු සම්පත සූරාගෙන ගියහ. කොළඹින් යැවූ නිලධාරියා මේ සියල්ල ආණ්ඩුකාරයාට වාර්තා කළේය. මුතුපර ආරක්ෂා කිරීම සඳහා සේවකයන් පිරුණු යාත‍්‍රා මුහුදේ යෙදවිය යුතු බවට ද නිර්දේශ කළේය. අලුත් මුතුපර ඇති තැන් තමාට වාර්තා වූ බව ද කීවේය. ඔහුගේ තක්සේරුව අනුව මරිච්චිකට්ටි, සිලාවතුර සහ අරිප්පුව දක්වා මුහුදු තීරයේ වැඩුණු මුතු බෙල්ලෝ ලක්ෂ අසූතුනක් සිටිති. එය ලොකු ආදායමක් බලාපොරොත්තු වන කිමිඳුම්කරුවන්ට වටිනා ඉලක්කයක් විය. වසර තුනකට පසු මුතු ලැබී තිබේ. සති ගණනක් පුරා අරිප්පු, සිලාවතුර මුහුදු තීරය කරත්ත දහස් ගණනකින් ආ හතළිස් දහසක් මිනිසුන්ට ද ගැහැනුන්ට ද තාවකාලික නගරයක් තැනීය. බාහිර ලෝකයාගෙන් මේ නගරය ගැන දැන සිටියේ සුළු පිරිසකි.

ජීවිතේ කවරදාක හෝ “මුතු නගරයේ” කුළීකාරකමට ආ තැනැත්තකු හෝ ඔහුගේ පවුලේ අයකු හැරෙන්නට නගරය ගැන දැන සිටියෝ අල්පය. යාල්පානමෙන්, හලාවතින්, පුත්තලමෙන් ආ කුළීකරුවකු හැර රට මැද ගම්වලින් මේ නගරයට ආ අයකු නැත. මේ නිසා හැම අවුරුද්දකම තුන්මාසයකට පමණක් ඉදිවන “මුතු නගරය” බාහිර ලෝකයෙන් දුරස්ව පැවතියේය. ‘ඉංගිරිසින්’ මේ නගරයට කීවේ “මුතු අගනුවර” කියාය. එයට පෙර ලන්දේසි ද පරංගි ද එතැන මුතු අගනුවර ලෙස හැඳින්වූහ. ලෝකයටම මුතු බෙදන තැන ‘මුතු අගනුවර’ නොවී තිබෙන්නේ කෙලෙස ද? ලන්දේසීන් පලවාහැර 1796 දී පහතරට ප‍්‍රදේශ අල්ලාගත් ඉංගිරිසීන්ට අරිප්පුව මැදිකරගත් සැතපුම් දහසක් පමණ වූ මෙම මුතු බෙල්ලන් බහුල මුහුදු තීරය ආදායම් ආකරයක් බව පෙනී ගියේය. එහෙත් එයට ළංවීම අතිදුෂ්කරය.

කොළොම්තොට සිට සැතපුම් එකසිය පනහක් දුරින් වසරේ තුන්මාසයක කාලයක් මුතු කැඩීම සඳහා ඉදිවන ‘මුතු නගරයට’ යන එන ගොඩබිම් පාරක් නොවීය. අඩිපාරවල් ඇතත් ඒ සියල්ල අලි කොටි වගවලසුන් සිටින මහ කැලෑ මැද්දෙනි. ඒ නිසා මුහුදු යාත‍්‍රාමගින් හැර අන් මගක් ‘මුතු අගනුවරට’ යන මිනිසුන්ට තිබුණේ නැත. කොලොම්තොටින් එන නිලධාරීන්ගේ ගමන් මාර්ගය අති දුෂ්කර විය. පළමුව මුහුදෙනි. නැවක හෝ සුලුප්පුවක නැගී දින ගණනක් යාත‍්‍රා කිරීමෙන් පසු මන්නාරමට හෝ අරිප්පුවට යා හැකිය. කුමන යාත‍්‍රාවකින් ගියත් වෙරළ අද්දරට පා තබන්නට ජැටියක් අරිප්පුවේ නොවූයෙන් නිලධාරීන් ද දේශ දීපංකරයෙන් එන වෙළෙන්දන් ද කරවටක් වතුරට බැස ගොඩබිමට යා යුතුය. අරිප්පුවේ සිරිත එය විය. ආණ්ඩුකාරයා ද අරිප්පුවට පය තිබ්බේ එහෙමය. ඉන් දශක ගණනකට පසු කුඩා ජැටියක් ඉදිකරන තුරු මරිච්චකට්ටි, සිලාවතුර, අරිප්පු මුහුදු තීරයේ වෙරළ දක්වා මගීන් ගෙන යන වෙනත් ක‍්‍රමයක් තිබුණේ නැත. මේ ක‍්‍රමය මුහුදෙන් එන්නන්ටය. ගොඩබිමෙන් එන්නෝ යාල්පානමේ හෝ පුනරීන් තුඩුවේ හෝ සිට දින ගණනක දුෂ්කර කරත්ත ගමනකින් පසු අරිප්පු ‘මුතු අගනුවරට’ එති. අලි කොටි වගවලසුන් කරත්ත පාර බදු ගෙන සිටියෙන් තනි තනිව ගමන මරුවා සමග යාමකි. මේ නිසා පෙබරවාරියේ මුල කරත්ත සිය දහස් ගණනක් මැදිකරගෙන මහා මිනිස් ප‍්‍රවාහයක් ‘මුතු අගනුවර’ වාසනාව සොයා එති.  


මුතු පාලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල වටා දින දෙක තුනකදී කුඩා නගරයක් ඉදිවෙයි. නාට්‍යශාලා, මුතු ගබඩා, නවාතැන් පොළවල්, බත්කඩ, රෙදිකඩ ආදිය එහි බිහිවන්නේ බලා සිටියදී වාගේය. පළපුරුදු වෙළෙන්දෝ අවුරුදු ගාණක්ම පෙබරවාරියේ අරිප්පුව කරා එන දුෂ්කර ගමනට එක්වෙති. තුන් මාසයක් එහි සිට වාසනාව පාදා ගන්නට ඔට්ටුවන ඔවුහු යළි මැයි මාසයේ මුල තම ගම්බිම්වලට යති.  
ස්ටුවට්ගේ කෘතියේ එසේ සඳහන් වේ.


මුතු බිම් වෙන්දේසි කිරීම සඳහා 1829 ජනවාරි මස ආණ්ඩුවේ ගැසට් පත‍්‍රයේ පළකළ දැන්වීමක මෙසේ සඳහන් වේ.  


ආණ්ඩුවේ දැන්වීම
“මුතු වාරය පටන් ගැනීම සඳහා යාත‍්‍රා උවමනා කර තිබේ”  
1829 පෙබරවාරි 25 හෝ ඊට ආසන්න දිනක අරිප්පු උතුර සහ දකුණු මුහුදු ප‍්‍රදේශවලදී විශාල වශයෙන් මුතු ඇල්ලීම සිදුවේ.  
සිලාවතුර උතුරට යාත‍්‍රා සීයක්, සිලාවතුර දකුණට යාත‍්‍රා සීයක්, මෝදරගම්ආරු අසලට යාත‍්‍රා සීයක්, එම ස්ථාන සඳහා යාත‍්‍රා සැපයිය හැකි ඕනර්ස්ලා පෙබරවාරි විස්සට පෙර අයැදුම් කරනු. දින 117 ක කාලයක් වැඩ කිරීමට හැකි කුළීකරුවන් ද සමඟ මෙම බෝට්ටු සැපයිය යුතුය. මේ සඳහා ලංසු තබන්නන් මදුරාසි රුපියල් 75ක මුදලක් තැන්පත් කළ යුතුය.  
මෙයට අණපරිදි,  
මාස්ටර් ඇටෙන්ඩන්ට්,  
ක‍්‍රි:ව 1829 ජනවාරි   
අරිප්පුවේදීය.  


තාවකාලිකව ඉදිකරගත් කුඩා පැල්පත්වල පදිංචිකරුවෝ ඉන්පසු ආදායම් සොයා ගැනීම සඳහා තම තමන්ගේ කටයුතු ආරම්භ කරති. නැට්ටුක්කාරියෝ ද මැජික්කරුවෝ ද අතබලා සාස්තර කියන රොඩී කාන්තාවෝ ද නයි නටවන්නෝ ද රස්තියාදුකාර පාදඩයෝ ද ඉන්පසු තාවකාලික නගරයේ වීදි අරක් ගනිති. තුන් මාසයක් තිස්සේ මේ කටයුතු සිදුවේ. නීතිය රැකීම සඳහා පොලිස් නිලධාරීහු ද එති. මදුරාසි රුපියල්, තාරකා පගෝදි, බොම්බේ රුපියල් සහ සූරත් රුපියල් මෙම තාවකාලික නගරයේ හුවමාරුවන කාසි බවට පත් වේ.  
ලංකාවට ආ ඉංගිරිසි පාලකයෝ අරිප්පුවේ තාවකාලිකව ඉදිවන මෙම මුතු නගරය දැකීමෙන් මවිතයට පත් වූහ. ආසියාකරයේ කිසිම රටකින් එවැන්නක් ඔවුන් දැක තිබුණේ නැත. එයට පෙර එවැනි නගරයක් ඔවුන් දැක තිබුණේ කැලිපෝර්නියාවේ රන් ආකරවලය. දකුණු අප‍්‍රිකාවේ කිම්බර්ලි රන් ආකාරවලය. එහෙත් ඒ රන් ආකර වටා බිහිවුණු තාවකාලික නගරවලට නොදෙවෙනි තනිකරම පොල් අතුවලින් ඉදිවන ‘මුතු අගනුවර’ ඉංගිරිසින්ටත් පුදුමයක් විය.  


එහෙත් පුදුමය වන්නේ එම නගරය ලොව කිසිම සිතියමක නොවීමය. මහා මාර්ගයකට හෝ දුම්රිය මාර්ගයකට හෝ සම්බන්ධ නොවීමය. භාෂා දහයක් දොළහක් කතා කරන මිනිසුන් ගැවසෙන ක්‍ෂණික නගරයක් ඇති බව රටේ අනෙක් පළාත්වල ජනයා දැන සිටියේද නැත. කාන්තාරය මැද ක්‍ෂේම භූමියක් මෙන් වනාන්තරය කෙළවර මෙම රහස් නගරය සෑම වසරකම ඉදිවෙයි. තිස් හතළිස් දහසක් ජනයා ක්‍ෂණිකව රැස්වන මෙහි මැහැල්ලෝ ද ළමා ළපැටිද නොවූහ. සිටියානම් අත දරුවෙක් හෝ දෙතුන් දෙනෙකි. කය වෙහෙසා වැඩ කරන අයට පමණක් සීමා වූ නගරයේ කාන්තාවන් සිටියේ පන්සීයකටත් අඩු පිරිසකි. ඔවුහුද මුතු බෙල්ලන්ගේ කුණු වූ මස් ඉවත් කිරීමට හෝ මුහුදු යන යාත‍්‍රාවලට වතුර සපයන්නන් ලෙස හෝ කාසි සොයා ගැනීමට ආ අය වූහ. ඉංගිරිසි නිලධාරීන්ගේ අශ්වයන්ට තණකොළ කපා ගෙනැවිත් කීයක් හෝ සොයාගන්නා කොලු කුරුට්ටෝ ද නගරයේ රැඳී උන්හ.   

 

 


මෙම නගරයේ ජීවත්වන මිනිසුන්ට බත නගරයේම පොල් අතු කඩවල පිසුණේය. පොල්අතු පැළලි බැඳ ඉහටත් පොල් අතු බැඳ හදාගත් මේ බත්කඩ කීපයක්ම නගරයේ වීදිවල ඉදිව තිබුණේය. මුතු වාරෙන් වාරයට මේ බත්කඩවල හිමිකරුවෝ ද වෙනස් වූහ. එයට හේතුව නම් ඉහට උඩින් හිරු රශ්මියෙන් ද පයට යටින් ගිනියම් වූ වැල්ලෙන් ද යුත් අරිප්පුවේ දුෂ්කර ජීවිතයට පය තියන්නට කැමති උන් හිඟවීමය. වරක් අරිප්පුවට ආ අයකු යළි එන්නේ එහෙමත් වෙලාවකය. බොහෝ බත් කඩකාරයෝ ‘‘මුතු අගනුවර’’ ගෙවන පළමු තුන් මාසයේදීම එහි ජීවත්වීමේ ආසාව අතහරිති. ඉඳහිට කෙනෙක් දෙන්නෙක් පමණක් අරිප්පුවේ ඉතිරි වෙති. බත්කඩවල හැටි එයාකාරය.

ඉන්පසු ඉන්නේ මුහුදු යන යාත‍්‍රාවලට වතුර සපයන ගැහැනුන්ය. මුහුදු යන ධීවරයකුගෙන් කාසියක් දෙකක් ලබා ගැනීමට හැකි ‘‘මුතු අගනුවරට’’ මේ කාන්තාවන් එන්නේ ජීවත්වීමට කිසිම සරණක් නැති නිසාය. ඔවුන් වතුර ගෙන එන්නේ කැලෑව පාමුල කැපූ ළිං කිහිපයකිනි. ඒ ළිං අනාදිමත් කාලයක පටන් එහි තිබූයෙන් පෙබරවාරියේ කරත්තයක නැගී එන මේ ගැහැනු හයිය හත්තිය ඇති පිරිමින් ලවා ළිං පිරිසිදු කරගෙන පාතාලයක් බඳු ගැඹුරක ඇති වතුර ටික කඹ දමා ඇදගනිති. ඉන්පසු බුජංවල පුරවා හිස තබාගෙන යාත‍්‍රාකරා ගෙන යති. මුතු ඇටයක් දෙකක් හෝ කාසි කීපයක් හෝ මුතුවාරය අවසන් වන විට ඔවුන් අතේ තබන්නේ කිමිදුම්කරුවන්ට මේ ගැහැනුන් ගෙනැවිත් දෙන ජලය මසුරං සේ වටිනා නිසාය. එම අවුරුද්දේ තිස් දහසක් දෙනා අරිප්පු ‘මුතු අගනුවරට’ පැමිණ සිටියහ.  


මුතු අගනුවර කටයුතු සියල්ල සිදුවන්නේ ඉංගිරිසි නිලධාරීන්ගේ මෙහෙයවීමෙනි. නගරයේ බලය ඇති ප‍්‍රධානියා ‘‘කලෙක්ටර්’’ නමින් හැඳින්වෙන ආදායම් පාලක නිලධාරියාය. ඔහු මුතුපර බදුදීමද, එයින් ආදායම් එකතු කිරීමද පිටරටින් එන යාත‍්‍රාවලට බදු පැනවීමද සිදු කරයි. ඔහුට උඩින් ඉන්නා ආණ්ඩුවේ ඒජන්ත නොහොත් දිසාපතිවරයා මේ සියල්ලේම ප‍්‍රධානියා වූවත් ඔහු එන්නේ ඉඳහිටය. සමහර අවුරුදුවල රටේම ප‍්‍රධානියා වන ආණ්ඩුකාරවරයාද අරිප්පුවට එයි. මුතු අගනුවර ආණ්ඩුකාරයා හැර ඉතිරි සියලුම නිලධාරීන් නවාතැන් ගන්නේ පොල් අතු බංගලාවලය. අනෙක් පොල් අතු මඩුවලට වඩා විශාලව, වාතාශ‍්‍රය හොඳින් ලැබෙන සේ මේ ‘‘පොල් අතු බංගලා’’ තනා තිබූ අතර වැලිපොළොවේ මාගල් සහ පැදුරු එලා වැලි ඇවිස්සීම මැඩ පවත්වා ගනියි. එහෙත් මෝසම් සුළං හමන්නේ මේ පොල් අතු බංගලාද පොළොවට සමතලා කරමිනි. මෝසම් සුළං හමන්න පටන ගනිද්දීම අරිප්පුවේ මුතුවාරය නිමාවට පත්වන හෙයින් ඉඳහිට හමන සුළඟකින් හැර ‘පොල් අතු බංගලාවලට’’ හානියක් නැත. ආදායම් පාලක කාර්යාලය, ලංකා කොලනිය බාර කොළොම්තොට කාර්යාලයෙන් එන නිලධාරින් සඳහා වෙන්කළ කාර්යාලය, උසාවිය, භාණ්ඩාගාරය, රෝහල, සිර මැදිරිය, තානායම හා තැපැල් කාර්යාලය ‘මුතු අගනුවර’ ඉදිවන සෙසු ගොඩනැගිලි වේ.  


රජයේ කාර්යාල සියල්ලම පිහිටි වීදියට කියන්නේ ‘‘මහ වීදිය’ කියාය. එය මුතු පාලන ගොඩනැගිල්ල ලෙස හැඳින්වෙන උළු සෙවිලි කළ ගොඩනැගිල්ල අසලින් විහිදී යයි. මහ වීදියෙන් තවත් අතුරු වීදි කීපයක් බෙදී යයි. ඒවායේ පිටරටින් එන මුතු ගැනුම්කරුවෝද ඔවුන්ට සේවා සපයන්නෝද වෙති. මේ අතුරු වීදිවල තවත් නොයෙක් ජාතියේ මිනිස්සු රැස්වෙති. පරිපාලනය අතින් වැදගත් වෙන්නේ ‘කච්චේරියයි’. අධිකාරිවරයාගේ සහ නගර පාලකගේ කාර්යාල පිහිටියේ ද මෙහිය. ඉතාමත් වැදගත් මෙන්ම කාගේත් අවධානය යොමුව පවතින ගොඩනැගිල්ල වන්නේ නෙළාගෙන එන මුතු බෙල්ලන් එක් රැස්කර තබන ‘‘කොටුව’’ නමින් හැඳින්වෙන ස්ථානයයි. මුතු කඩන මිනිස්සු මෙයට ‘‘කොඩ්ඩු’’ යැයි කියති. අක්කර දෙක තුනක වපසරියක් පුරා විහිදුණු ‘‘කොටුව’’ උණ බම්බුවලින් වටකොට ඇති අතර එහි සේවය කරන්නන්ට සහ මුර සෙබළුන්ට නැවතීමට පියසි සහිත මඩු කීපයක්ද එහි වෙයි. මෙහි එක කෙළවරක් හැකි තරම් මුහුදු වෙරළට කිට්ටුවෙන්ම සකස් කර තිබේ. අනෙක් කෙළවර රජයේ කාර්යාල පිහිටි පෙදෙස් අසලය. මෙම කොටුව නිරන්තරව මුර සෙබළුන්ගේ ආරක්ෂාව යටතේ පවතී. අවුරුදු ගණනක් පුරා හැඩ ගැසුණ මෙම මුතු ගනුදෙනු ඉතාමත්ව නිවැරදිව සොරකම්වලින් තොරව සිදුකිරීමට එම කටයුතු බාර නිලධාරීහු හැඩ ගැසී සිටිති. කාර්ය බහුල බැංකුවක මෙන් කටයුතු සිදුවෙන මෙම ‘‘කොටුවක’’ ඇතැම් දිනක එක මුතු ඇටයකුදු එහා මෙහා නොවී ලක්ෂ ගණනක් ගනුදෙනුවන අයුරු විස්මය ජනකය.

 
මුතු කිමිදෙන්නට පැමිණෙන බොහෝ දෙනා කළු ගැසුණු එහෙත් ශක්තිමත් ශරීර ඇති කඩිසර පුද්ගලයෝය. හට්ටි මුට්ටි සහ ඇඳුම් පැළැඳුම් පොදිබැඳගෙන පැමිණෙන මොවුන් මුතු නෙළන කාලය පුරාම දැකිය හැක්කේ අමුඩකෙටියකින් විළි වසාගෙන සිටිනවා පමණි. මොවුන් අතරින් මදුරාසියෙන් පැමිණි අය දක්ෂයන් සේ සැලකිණි. මේ කිමිදෙන්නන්ගෙන් අඩක පමණ ලියාපදිංචි වූ දකුණු ඉන්දියානුවෝය. තුත්තුකුඩියෙන් පැමිණියේ පරවර කුලයේ අයයි. මුස්ලිමුන් පැමිණියේ හම්බාන්වලිනි. ලාංකික කිමිදෙන්නන් පැමිණියේ යාපනයෙනි. ඒ කරාව කුලයේ අයයි. ඔවුන් ආරාබිකරයෙන් පැමිණ යාපනයේ පදිංචිවූවන්ගෙන් පැවතෙන්නන් බව කියති.

වැඩිම දුරක් ගෙවා පැමිණෙන කිමිඳුම්කරුවන් වූයේ අරාබීන් සහ පර්සියන් බොක්ක ප‍්‍රදේශයෙන් එන අයයි. මේ පිරිස කිමිදෙන්නට සමත් ඉතා දක්ෂයෝය. එහෙත් දැඩි මුස්ලිම් භක්තිකයෝ නිසා හින්දු සහ සිංහලයන් සමඟ සුළු ප‍්‍රශ්නවලටත් ගැටුම් ඇතිකර ගනිති. මේ නිසා මොවුන්ගෙන් කිමිඳුම් කටයුතුවලට අවසර ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට පමණි.


මුතු බෙල්ලන් සොයා මුහුදට බසින හැටි මීළඟට...

 

ප්‍රේමකීර්ති රණතුංග