අනුලා චෛත්‍යය හෙළිකරන රහස


කැණීම් සිදුකරමින්...

 

ඕ පෙරමඟ බලා සිටියේ මහත් බලාපොරොත්තු සහගතවය. දඹදිවින් මහා දායාදයක් ලෙස ලැබුණු බුදු දහමේ අග්‍රඵලය ලැබීමේ නොනිත් ආශාවෙන් පසු වූ ඇය රාජකුමාරිකාවකි. එපමණක් නොව මෙරට රාජ්‍ය පාලනයට ද දායක වූ තැනැත්තියකි. නමුත් ඒ සියලු‍ සැප සම්පත් හැරදමා නිර්වාණය සොයා යාම ඇයගේ එකම අභිලාෂය වූයේය. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවේ ධර්මය ඇසූ ඇය සිංහලද්වීපයේ දී සෝවාන් ඵලයට පත් පළමු කාන්තාව වූවාය.   


ඇය දේවානම්පියතිස්ස මහ රජතුමාගේ මළණුවන් වූ මහානාග යුවරජුගේ අග මෙහෙසියයි. අනුලා දේවියයි.   


මිහින්තලයේ දී රජතුමා හමුවීමෙන් පසු අනුරාධපුරයට වැඩමකළ මිහිදු මහ රහතන් වහන්සේ හමුවට පන්සියයක් කාන්තාවන් සමඟ පැමිණි අනුලා බිසොව පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්ත යන ධර්ම දේශනා අසා සෝවාන් ඵලයට පැමිණි බව මහාවංශයේ දැක්වේ.   


නමුත්, සඟමිත් මහ රහතන් වහන්සේ වැඩමකරන තුරු අනුලා බිසොවට පැවිදිබව ලැබුණේ නැත. මේ නිසා ම සංඝමිත්තා තෙරණිය සිරිලකට වැඩමකරන තුරු පන්සියයක් කාන්තාවන් සහ පන්සියයක් අන්තංපුර ස්ත්‍රීන් සමඟ දස සිල් සමාදන් වී කසා වත් හැඳ ගෙන, පැවිද්ද ලබාගනු සඳහා බලා සිටීමට ඇයට සිදුවූවාය. සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමකරන තුරු රජතුමා විසින් ඇය ප්‍රමුඛ දසසිල් වූ සියලු‍ ‍කාන්තාවන් සඳහා අනුරාධපුරයේ එක් පසෙක මෙහෙණි අසපුවක් කරවා දුන් බවත් එය උපාසිකා විහාරය ලෙස ප්‍රසිද්ධියට පත්වූ බවත් වංශකතාවල දැක්වෙයි.   
අනතුරුව සඟමිත් රහතන් වහනසේ මෙරටට වැඩමකළ පසු උන්වහන්සේ වෙත ගොස් පැවිදි වී රහත්භාවය ලැබූ අනුලා බිසොව මෙරට මුල්ම රහත් මෙහෙණින් වහන්සේ ලෙස පිළිගැනේ.   

 


මේ සියල්ල ඉතිහාසයට එකතු වී තිබූ අතර සියවස් ගණනාවක ඇවෑමෙන් අනුරාධපුරය වල් බිහි වී වනාන්තරයේ ගීලී ගොස් තිබිණි.   
1815 දී මෙරට පාලනය භාරගත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ අනුරාධපුරයේ වන ලැහැබවල් අතර ඇති නටබුන් වූ ශිෂ්ඨාචාරයක් දැක ඒ ගැන හැකි තරමින් අධ්‍යයනය කළහ. එච්.සී.පී. බෙල් මහතා මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා බවට පත්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයන් විධිමත් කළ අතර මිහින්තලය ඇතුළු බොහෝ ස්ථාන හඳුනාගෙන ඒවා තහවුරු කෙරිණි.   


මිහින්තලය, මැදවච්චිය මාර්ගයට යාබදව, මිහින්තලා පුදබිමෙන් කිලෝ මීටර 02ක් පමණ උතුරු දෙසට වන්නට පිහිටි දාගැබක් ඇතුළු නටබුන් සහිත ප්‍රදේශයක් හඳුනාගත් බ්‍රිතාන්‍ය පාලකයන් එය 1921 වර්ෂයේ දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබිණි.   
“අනුලා තිස්ස දාගැබ” පුදබිම ලෙස නම්කර තිබූ මේ පුරාවිද්‍යා රක්ෂිතයේ වපසරිය අක්කර 46කට මදක් වැඩි ප්‍රමාණයකි.   
සුවිසල් ගල් තලාවක් මත පිහිටි කුඩා දාගැබක් සහ ඒ අවට ඉදිකිර තිබූ ගොඩනැගිලි රැසක නටබුන් පිළිබඳ නිසි පර්යේෂණ සිදුව තිබුණේ ද නැත. ගල් තලාවේ සෙල්ලිපි ද දක්නට ලැබිණි.   


මිහින්තලා මහ සෑය මේ ස්ථානයට අපූරුවට දර්ශනය වෙයි.   
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් බව සැලකෙන මෙම පුදබිම පසුගිය 2021 ජූලි මාසයේ දී කොළඹින් ගිය පුද්ගලයන් පිරිසකගේ මෙහෙයවීමෙන් ඩෝසර් කළ අතර ඒ සමඟ මේ පුදබිම පිළිබඳ දැඩි අවධානයක් ද යොමු විය.   
අක්කර 46ක භූමියෙන් අක්කර 03ක පමණ ප්‍රදේශයක් පස් ඉවත්කර වළවල් හාරා තිබූ අතර ඒ තැන තැන ද පැරණි ගඩොල් ඇතුළු නටබුන් විනාශ වී තිබෙන ආකාරය දක්නට ලැබිණි.   


බොහෝ දෙනකු කියා සිටියේ මෙම ස්ථානයේ හෝටලයක් ඉදිකිරීම සඳහා මෙලෙස බිම සකස්කර ඇති බවයි. වාර්තාවූයේ භික්ෂුණීන් වහන්සේලා කිහිප දෙනකුගේ ඉල්ලීම මත භික්ෂුණී විවේකාශ්‍රමයක් ඉදිකරන බව පවසමින් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් එලෙස බිම සකසා ඇති බවයි.   
මේ ආන්දෝලනයත් සමඟ කැලණිය මානෙල්වත්ත විහාරාධිපති, නාගානන්ද විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම හිමියෝ එම ස්ථානය පිළිබඳ අවධානය යොමුකළහ.   


මිහින්තලා පුදබිමේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණුවැවේ ධර්මරතන හිමියන් ද සමඟ එක්ව බෝදාගම චන්දිම හිමියෝ මේ පුදබිම පිළිබඳ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදුකර එය ප්‍රතිසංස්කරණයට ලක්කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළහ.   
රජය සමඟ සාකච්ඡා කළ හිමිවරු දෙනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එම කාර්යය සිදුකරන ලෙස ඉල්ලීමක් ද කළහ. මේ සඳහා අවශ්‍ය මුදල් සපයා දීම භාර ගන්නා ලද්දේ අචාර්ය බෝදාගම චන්දිම හිමියන් විසිනි.   


රිටිගල ආඬියාකන්දේ ලෙන් ලිපියක සඳහන් වන්නේ “පරුමක අනුලිය” නමැති කාන්තාවක් විසින් ලෙන් කරවා සංඝයාවහන්සේලාට පූජා කළ බවයි. මේ බව ශ්‍රී ලංකාවේ ශිලා ලිපි සංග්‍රහයේ දක්වා ඇත. එමෙන් ම දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරන් විසින් මිහන්තලේ අටසැට (68) ලෙන් කරවූ බව ද මිහිඳු හිමියන් ප්‍රමුඛ දෙසැටක් (62) මහ රහතුන් උදෙසා ඒවා පූජා කළ බව ද දැක්වේ.   


මෙම ලෙන් ලිපිවලින් ලැබෙන සාක්ෂි අනුව ‘පරුමක අනුලා’ නම් කාන්තාවට උත්තිය සහ තිස්ස යනුවෙන් පුතුන් දෙදෙනකු සිටි බව තහවුරු වේ.   
රිටිගල සිටි ප්‍රාදේශීය නායකයකු සමඟ අනුලා විවාහ වී සිටි බවත්, සිව් මසක කාලයක් එම ප්‍රදේශයේ රාජ්‍ය විචාල බවත් දැක්වේ. ඉතිහාසඥයන් පවසන්නේ මේ අනුලා යනු දේවානම්පියතිස්ස මහ රජුගේ සොහොයුරු මහානාගගේ බිසව අනුලා‍ දේවිය බවයි.   
පසුව රහත් භාවයට පත්වූ ඇය භික්ෂුනියන් වහන්සේලා සමඟ මිහින්තලයට යාබද මෙහෙණි ආරාමයක වැඩවාසය කරමින් සම්බුදු ශාසනය වෙනුවෙන් මහ මෙහෙවරක් කළ බවත් ඇය වැඩ විසූ ස්ථානයේ පසු කළෙක අනුලා තෙරණියන් සිහිවීම පිණිස විශාල ගල්තලාවක් මත විහාරමහා දේවිය විසින් අනුලා දේවී දාගැබ කරවූ බවත් වංශකතාවල දැක්වේ.   


මෙම පුදබිමෙහි ඇති සෙල්ලිපියක “අනුලා තිස්ස දාගැබ” ලෙස සඳහන්වීමෙන් වංශකතා සාධක සහ පුරාවිද්‍යාත්මක සාධක සියල්ල එකිනෙක හොඳින්ම ගැලපෙන බව පෙනී යයි.   
මේ පිළිබඳ ආචාර්ය වලවාහැංගුණුවැවේ ධර්මරතන හිමියෝ මෙසේ පවසති.   
“අනුලා දාගැබ කියල කට වහරේ ආපු මේ ස්ථානය වංශකතා සාධක සහ පුරාවිද්‍යාත්මක සාධක අනුව අනුලා දාගැබ යන්න සනාථ වී තිබෙනවා. නමුත් මෙය පුදබිමක් ලෙස නම්කර තිබුණත් එහි හතර මායිම් නිසි පරිදි සළකුණු කර නැහැ. ඒ නිසා වරින් වර විවිධ පුද්ගලයන් ඇවිත් මේ ස්ථානයේ ඉඩම් අල්ලා ගන්නවා. එමගින් මෙරට ඉතිහාසයට, පුරාවිද්‍යාවට, බෞද්ධ උරුමයට විශාල හානියක් සිදුවනවා. ඒ නිසා අපි තීරණය කළා මේ ස්ථානයේ විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකරලා ස්ථානය තහවුරු කරන්න අවශ්‍යයි කියලා. පසුගිය කාලයේත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන ඇවිත් මේ ස්ථානයේ ඉඩම් අල්ලාගැනීමට උත්සාහ ගත්තා. ඒවා නතර කළේ බොහොම අමාරුවෙන්. ඓතිහාසික අනුලා දාගැබ පිහිටි ගල්තලාවට එක් පැත්තකින් ඩෝසර් කිරීම නිසා නටබුන් සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙලා ගිහින්.”   
ආචාර්ය බෝදාගම චන්දිම හිමියෝ මෙසේ කීහ.   


“අපි මිහින්තලයට ගිය වෙලාවක නායක හාමුදුරුවෝ කිව්වා මේ ස්ථානය බලන්න යමු කියලා. විශාල ගල්තලාවක නටබුන් රැසක් තියෙනවා. එතන පැරණි සෙල්ලිපි පවා තියෙනවා. පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කර තිබුණත් කැලෑවට යටවෙලා. ඒ නිසා විවිධ පුද්ගලයන් ඇවිත් ඉඩම් අල්ල ගන්නවා. මේ නටබුන් විනාශ කරනවා. ඒ නිසා අපි මේ ස්ථානය තහවුරු කරන්න කියා රජයෙන් ඉල්ලීමක් කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එම කාර්යය භාර දී තිබෙනවා. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි මැදිහත්වෙලා සොයා දෙනවා. මේ වගේ කාර්යයක් ආරම්භ කිරීමට හැකිවීම ගැන ඇත්තටම විශාල සතුටක් තිබෙනවා.” 

 
ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් තායිවානයේ ප්‍රධාන සංඝනායක ලෙස කටයුතු කරන බැවින් රටවල් බොහොමයක සංචාරය කර ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කර තිබේ.   


උන්වහන්සේ සඳහන් කරන්නේ මෙම අනුලා තිස්ස පුදබිම පිළිබඳ මෙරට ඉතිහාසයේ පමණක් නොව චීනයේ, ටිබෙට්, මොංගෝලියාව වැනි රටවල ඉතිහාසයේ පවා සඳහන් වන බවයි.   
“අනුරාධපුර යුගයේ භික්ෂුණීන් සඳහා අධ්‍යාපන ආයතනයක් මිහින්තලේ තිබුණු බව සංචි විහාරයේ ඇති සෙල්ලිපියක තිබෙනවා. අපි විශ්වාස කරනවා මිහින්තලේ තිබූ භික්ෂුණී අධ්‍යාපන ආයතනය මෙම අනුලා දාගැබ සහිත පුද බිම විය යුතුයි කියලා. අපිට ඒවා අනාගයේ දී පුරාවිද්‍යාත්මක සාධකවලින් තහවුරු කරගත හැකිවේවි. චීන බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා ‘ලංචින්’ ප්‍රදේශයට ‘දේවසාරී’ නමැති මෙහෙණින් වහන්සේ සිරිලක සිට වැඩමකරලා මෙහෙණි ශාසනය ඇතිකළ බව. ‘දේවසාරී’ ‍මහ රහත් මෙහෙණියගෙන් පැවිදි බව ලබාගත් පළමු චීන භික්ෂුව වන්නේ “ක්වේයි ගෝ”. ඒ වගේ ම “චන්ද්‍රමාලී” මෙහෙණිය සිරිලක සිට ටිබෙට් දේශයට වැඩමකරලා එහේ භික්ෂුණී ශාසනය ඇතිකරනවා. ඒ විතරක් නෙවෙයි චන්ද්‍රමාලී මෙහෙණින් වහන්සේ සංස්කෘත පොත් හයක් ටිබෙට් භාෂාවට පරිවර්ථනය කරලා තියෙනවා. මොංගෝලියාවට ගිහින් මෙහෙණි සස්න පිහිටුවන්නේත් අපේ සිරිලක මෙහෙණින් වහන්සේලා. මේ නිසා ලෝකයේ ථෙරවාදය, මහායානය වගේම වජ්රතයාන කියන සියලු‍ම ශාසනයන්හි මෙහෙණින් වහන්සේලා ආරම්භයේ මූලික වෙලා තියෙන්නේ සිරිලක සිටි මෙහෙණින් වහන්සේලා. ඒ නිසා මෙතැන තිබූ බව සිතන භික්ෂුණීන් වහන්සේලා පුහුණුකරන මධ්‍යස්ථානය ලෝක ශාසන ඉතිහාසයේම අග්‍ර ස්ථානයක් බව පැහැදිළියි.”   


මෙම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ පසුගිය දෙසැම්බර් 26 වැනි දා ය. මෙහෙණින් වහන්සේලා 5,000ක පිරිසක් වැඩමකරවා දානය පිරිනමා එම කටයුතු ආරම්භ කරන ලදී.   


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් එම ස්ථානයේ කැණීම් සිදුකරයි.   
ඔවුන් පියවරෙන් පියවර විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව කැණීම් සිදුකරන අතර එහි දී පළමුව අවධානය යොමුකර ඇත්තේ අනුලා දාගැබ ලෙස විශ්වාස කරන ගරාවැටුණු චෛත්‍යයටය.   


මේ වනවිට එහි පාදම මතුකරගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත්ව සිටිති.   
එම ස්ථානයෙන් දැනටමත් කුඩා පළිඟු‍ කරඬුවක් හමුවී ඇති අතර ඊට තරමක් විශාල මැටි කරඩුවක් ද හමුවී තිබේ.   
මෙම පළිඟු‍ කරඬුවේ ධාතු තැන්පත් කර ඇතැයි ද ආචාර්ය බෝදාගම චන්දිම හිමියෝ පවසති.   


ඒ පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.   
“මෙම ස්ථානය අනුලා දාගැබ පිහිටි ස්ථානය බවට විශ්වාසයක් තිබෙනවා. තවම මූලික ගවේෂණ කටයුතුවලින් පස්සේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කළා පමණයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කැණීම් කටයුතු කරගෙන යනවා. පසුගිය සතියේ අපිට පළිඟු‍ කරඬුවක් සහ මැටි කරඬුවක් හමුවුණා. තවත් පොඩි පොඩි පුරාවිද්‍යාත්මක සාධක රැසක් මෙම කැණීමෙන් හමු වී තිබෙනවා. නමුත් ඒවා ගැන දැන්ම ස්ථිරව කිව නොහැකියි. පළිඟු‍ කරඬුවේ සර්වඥධාතු තැන්පත් කර තිබෙනවා කියා මතයක් ප්‍රචාරය ​ෙවනවා. ඒ ගැනත් තවමත් අපිට ස්ථිරව කිසිවක් කීමට හැකියාවක් නැහැ. තව ගොඩක් පර්යේෂණ කරන්න තිබෙනවා. මේ ස්ථානයේ කැණීමෙන් ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” 

 
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම ස්ථානයේ ඇති නටබුන් අනුරාධපුර යුග‍යේ ආරම්භය දක්වා දිවෙන බවයි. ක්‍රිස්තු පූර්ව 3-2 වැනි සියවස්වලට අයත් මේ නටබුන් සහිත ප්‍රදේශයේ සිදුකරන කැණීම්වලින් මෙතෙක් සැඟවී තිබූ අපූරු ඉතිහාසයක් මතුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.   

 

 

 

සටහන සහ ඡායාරූප :
සජීව විජේවීර