2018 නව වසරේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ද ?


කුමන ලග්නයකින් උපත ලැබුවද ලග්නාධිපති, ආලෝක ග්‍රහයන් වන රවි හා සඳු ග්‍රහයන් පාප පීඩා නොවී සුබ ග්‍රහයන්ගේ දැක්මට ලක්වී තිබේ නම් ජීවිත කාලය පුරා ඔහුට හෝ ඇයට නිරෝගී තත්ත්වය ආරක්ෂා කරගත හැකි වේ. එහෙත් එවැනි ජන්ම පත් අපට හමුවී ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි.   

 

ජන්ම කේන්දරයක 1-5-9 භාව තුනෙහි අධිපති ග්‍රහයන් යෝගවීම හෙවත් ඉෂ්ට බල යෝගය ද සුබපල දෙන ප්‍රබල ග්‍රහ පිහිටීමකි. උදා - මේෂ ලග්නයට අධිපති කුජ ග්‍රහයා ද 5 වැන්නාධිපති රවි ග්‍රහයාද නව වැන්න අධිපති ගුරු ග්‍රහයා ද යෝගවීම ඊට හොඳ උදාහරණයකි. එම ග්‍රහ යෝගය පිහිටි රාශියට අදාළ කාරක ගුණය බලවත්වීම මෙහි ප්‍රතිඵලය වේ. ලග්න භාවයේ ඉහත කී ග්‍රහ සංයෝගය දක්නට ලැබේ නම් ජන්මියා සමාජයේ කැපී පෙනෙන මනා පෞරුෂයෙන් යුතු තැනැත්තකු වේ. කේන්දරයේ දෙවැන්න හෙවත් ධනස්ථානයේ එම ග්‍රහ සංයෝගය දක්නට ලැබේ නම් ජන්මියා තැන්පත් ධනයෙන්ද බලවත් පුද්ගලයෙකු වේ.   


ලග්නාධිපති ග්‍රහයා 5/9 ත්‍රිකෝණස්ථානයක හෝ කේන්ද්‍රස්ථානයක යහපත්ව පිහිටීම පුද්ගලයා සමාජයේ ගරු බුහුමනට ලක්වන කෙනකු වේ. එහෙත් ලග්නාධිපති පිහිටි රාශිය අධිපතියා හය අට දුෂ්ට ස්ථානයක පිහිටා තිබුණහොත් ඉහත කී සුබපල ක්‍රියාත්මක වන්නේ නැත. ආලෝක ග්‍රහයන් වන රවි සඳු ග්‍රහයන් 22 වැනි දෙර්කාණය හෝ 64 වැනි නවාංශක අධිපති වුවහොත් උපතේදී හොඳට පෙනුණ දෙඇස අපල කාලවලදී රෝග පීඩාවන් වැළඳීමක් හෝ හදිසි අනතුරකට ලක්වීමෙන් නොපෙනී යාමට හෝ බලවත් ශල්‍යකර්මයකට භාජනය වීමට හොඳටම ඉඩකඩ තිබේ.   
ආයු කාරකයා වන සෙනසුරු ග්‍රහයා උපතේදී දුබල (නීච) තත්ත්වයක දක්නට ලැබේ නම් ඔහුගේ පාදවල හෝ දෙඅත්වල ඇට බිඳීම් වැනි හදිසි අනතුරු තුවාලවලට ලක්විය හැකිය. අෂ්ටම ජන්ම ආදී කුමන හෝ ඒරාෂ්ටක පීඩා කාලයක් නොමැති කාලයක වුවද ඉහත කී අනතුරු සිදුවීමට ඉඩ තිබේ. එවැනි අසුබ කාල සීමාවන් අපගේ අත්දැකීම් අනුව පාඨක ඔබ සැමගේ දැනගැනීම පිණිස පහත දක්වා ඇත.   


හෝරා සාරය නම් ඉපැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථය අනුව අසුබ මහ දසා කාලයක් හා ග්‍රහ ගෝචරය අනුව අසුබ කාලසීමාවන් මෙසේ දැක්විය හැකිය.   


රවි මහ දසාව පවතින විට - රවි ග්‍රහයා 12 වැන්නේ ගමන් කරන විටද, සඳු මහ දසාව පවතින විට - සඳු ග්‍රහයා අටවැන්නේ ගමන් කරන කාලයේදීද, කුජ හා බුද මහ දසාව පවතින විට - එම ග්‍රහයකු කේන්දරයේ සත්වැන්නේ ගමන් කරන කාලයේදීද, ගුරු මහ දසාව පවතින විට - ගුරු ග්‍රහයා තුන්වැන්නේ ගමන් කරන විටද, සිකුරු මහ දසාව පවතින විට - සිකුරු ග්‍රහයා හයවැන්නේ ගමන් කරන විටද, ශනි මහ දසාව පවතින විට ලග්න භාවයේ ගමන් කරන විටද, රාහු/ කේතු මහදසාව පවතින විට - ලග්න භාවයේ හෝ සඳු පිහිටි රාශියේ ගමන් කරන විටද සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස දුර්වල වේ. රාහු ග්‍රහයාගේ ගමන් විලාසය අනුව අවිවේකය මෙන්ම ඇසුරු කරන අය සමග මත ගැටුම් ද ඇති වේ.   


කුජ / රාහු හෝ ශනි / රාහු ග්‍රහ පිහිටීම් දක්නට ලැබේ නම් හදිසි අනතුරු තුවාලවලට ද වැඩි ඉඩක් ඇත.   


ශාන්තිකර්ම   


ග්‍රහ අපල සඳහා පැලඳිය යුතු යන්ත්‍ර වර්තමානයේ නිසි පරිදි පිළියෙල නොකිරීම නිසා බොහෝදෙනෙක් ඒවායින් පිහිටක් ලබා නොගනිති.   


කෙසේ නමුදු පහත සඳහන් ශාන්තිකර්ම කිරීමට බොහෝ දෙනකු පෙළඹී ඇත්තේ ඒවායින් ලැබෙන සුබපල අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන තිබෙන නිසාය.   


01. කේන්දරයේ බලවත් ග්‍රහයා නියෝජනය කරන දේවතාවුන් වහන්සේගේ පිහිට ලබාගැනීමට සෙත් කවියක් කියවීම.   

02. කූඩු කළ සතුන් (කුරුල්ලන්) නිදහස් කිරීම හෝ මරණයට නියම වූ සතුන්ට අභය දානය දීම.   

03. සෙනසුරාදා දිනයක් ආරම්භ කර සතියක කාලයක් බෝධි පූජා පැවැත්වීම.   

 

බුද්ධ පූජාවට ගිලන්පස වශයෙන් පලතුරු (වර්ග පහක) යුෂ පූජා කරන්න.

   
පහන් දැල්වීම   


1. ඇස්වහ කටවහ දෝෂවලින් සහනයක් ගැනීමේදී - අබ තෙල් පහන් තුනක්ද,   

2. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි අසනීප තත්ත්වය නිසා නිරෝගී සුවය (අැඟ සිසිල්වීමට) අපේක්ෂා කරන්නේ නම් එළඟි තෙල් පහන් තුනක්ද,   

3. ශරීරයේ බාහිර දෝෂවලින් සහනයක් ලබාගැනීම සඳහා තලතෙල් පහන් තුනක් ද දැල්වීම සාමාන්‍ය පිළිවෙත වේ.   

 

ආගමික වතාවත්වලින් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. 

 
සෙත් ශාන්ති ගාථා   


සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බරෝගෝ විනස්සතු මා තේ භවත්ත්වන්තරායෝ සුඛී දීඝායුඛෝ භව.   


සියලු උවදුරු දුරු වේවා සියලු රෝග නැසේවා. සියලු අන්තරාය දුරු වේවා. සුවපත් වේවා, දීර්ඝ ආයුෂ ලැබේවා.   

 

 

 

 

 

 


ජ්‍යොතීර්වේදී   
මිල්ටන් හේවාපතිරණ   
330/සී/1/3, සර්පන්ටයින් මහල් නිවාස, බොරැල්ල, කොළඹ - 08