අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?


 

 

 

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය.   

“කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය.   
“අයියා.. එයාට මම පණිවිඩේ කිව්වා.. එයාට එන්න වෙන්නෙ නැතිලු‍.. එයා ඉස්පිරිතාලෙ ළඟ..”   


රේණුකා කීවේ කල්පනාකාරී හඬකිනි. හීන් නෝනාගේ සිත ගිඩිස් ගා ගැස්සිණි. රෝගීන් බලන වේලාව පසු වී පැයකටත් වඩා ඉකුත් වී ගොස්ය. දරුවන් ද ගෙදර දමා ගොස් කිත්සිරි තවමත් රෝහල අසළ සිටින්නේ කුමක් හෝ බරපතළ තත්‍ත්වයක් නිසා විය යුතුය.   


“ඉස්පිරිතාලෙ ළඟ මෙච්චර වෙලා මක් කරනව ද..?”   
ඇය කීවේ තමාටම කියා ගන්නාක් බඳුවය.   
“අක්කව ලේබර් රූම් එකට ගත්තලු‍.. එයාට ප්‍රෙෂර් වැඩි වෙලා.. සීසර් කරන්න වෙයි ද දන්නෙ නෑ කිව්වලු‍.. හදිස්සියේ බෙහෙත් ගෙනත් දෙන්න හරි, ලේ දෙන්න හරි කිව්වොත් කියලා අයියා ගෙදර ගිහින් නෑ..” රේණුකා කීවේ අයියා කී කතාවේ සැර බාල කරය.   
ජිනාදරීගේ තත්ත්‍වය බැරෑරුම් බව කියමින් කිත්සිරි හඬාවැටුණ බැව් ඇය අම්මාට කීවේ නැත. එසේ කීවේ නම් ඇය ද කලබල වෙන්නට ඉඩ තිබිණි. මේ කල්පනාවෙන් වැඩ කළ යුතු අවස්ථාවක් මිසක් කලබල වී හැමදේම අවුල් කර ගත යුතු වේලාවක් නොවේ. එහෙත් ඊයම් බරුවක් එල්ලූ කලෙක මෙන් ඇගේ සිත බර වී තිබුණේ හැම විටම සැහැල්ලු‍වෙන් පසුවන සිය සොයුරා හඬාවැටුණ අවස්ථා පිළිබඳ අතීත මතකයක් නොවූ බැවිනි.   
“ඒකත් එහෙමද..? එතකොට අර දරුවෝ තුන් දෙනා ගෙදර තනියම ද දන්නෙ නෑ ඉන්නෙ..?” හීන් නෝනා විමසුවේ සාංකාවෙනි.   
පුංචි දෙයටත් කඩා පැන්නේ වී නමුත් ඇය දරුවන්ට ආදරේය.   


“සසංක දැන් අවුරුදු දොළහක ළමයෙක්නෙ අම්මා.. අයියා ගෙදර එනකම් අනිත් දෙන්නා බලා ගන්න එයාට බැරුවයැ.. අම්මා දැන් ඔය යන්න ලෑස්ති වුණ ගමන ගිහින් එන්නකො..”   
රේණුකා මවා ගත් සැහැල්ලු‍ බවකින් කීවාය. තමාගේ සිතට විපතක පෙරනිමිති ඇතුළු වන්නේ මන්දැයි ඇය දැන සිටියේ නැත. කවදාවත් නැතුව හදවත ගැහෙන්නට වූයේ ද වෙනස්ම රිද්මයකටය.   
“හ්ම්.. මං යන ගමන් ආප්ප ටිකත් කඩේට දීගෙනම යන්නං.. කෙල්ල තනි කරන්න එපා.. මං ආවට පස්සෙ කන්න මොනවා හරි හදලා දෙන්න බැරුවයැ.. ඒකිට ඔය යට ඇඳුම් අඳින හැටි එහෙම කියලා දීපන්..”   
හීන් නෝනා කීවේ ලහිලහියේ ඇඳුම් මාරු කර ගන්නා අතරතුරය. රේණුකා හෙමිහිට හිස සැලු‍වාය.   
“ඉස්සර නම් ඔය වාගෙ දෙයක් වුණාම රිදී නැන්දට පණිවිඩේ යවනවා.. එයා තමයි අඳින්න පිරුවට ගෙනත් දෙන්නෙ.. දැන් ඉතින් කොහෙද රිදී නැන්දලා..? කෙල්ලට ගවුම මාරු කර ගන්න කියපන්.. හැබැයි හෝදන්න එහෙම එපා.. නැකතට වතුර වක්කළාට පස්සෙ ඇඳගෙන හිටපු ඔක්කොම අයින් කරන්න ඕනනෙ..”   
කතා කළේ හීන් නෝනා පමණකි. අම්මාගෙන් අසා දැන ගන්නට වුවමනා බොහෝ දේවල් රේණුකාගේ මුවග පොර කෑවේය. එහෙත් ඇයට මුව විවර කර ගන්නට බැරි තරම් විඩාබර බවක් දැනෙමින් තිබිණි. ඇය නැවත වරක් හිස සැලු‍වේ එනිසාය.   

 

අම්මා පිට වී ගියාට පසුව කාමරයට ගිය රේණුකා සනීපාරක්ෂක තුවා භාවිතය පිළිබඳ පාඩම දිනේෂිට කියා දුන්නාය. එය ඇයට අලු‍තින් කියා දිය යුතු නොවිණි. පන්තියේ සිටි වැඩිවිය පැමිණි යෙහෙළියන් තමන්ගේ අත්දැකීම් අනෙක් අයට කියා දුන්නේ යම් ආඩම්බරකාරී බවකින් ද යුතුවය. තමන්ටත් ඒ අත්දැකීම විඳ ගන්නට අනෙක් අයට හදිසි වූයේ ඒවාට සවන් දෙද්දීය. එහෙත් එය මොන තරම් කරදරකාරී අත්දැකීමක්දැයි මේ ටිකටම දිනේෂිට පසක් වී තිබිණි. ඇයට දිගින් දිගටම අම්මා ද සිහිපත් වූයේය. එම නිසා කිහිප වරක්ම ඇයට හැඬිණි. රේණුකා පාඩම කියා දෙන අතරතුර ද ඇය හැඬුවාය. වැඩිවිය පත් වීම යනු හුදෙක් ශාරීරික වෙනස් වීමක් පමණක් නොව මානසික වශයෙන් ද, ඇවතුම් පැවතුම්වලින් ද වෙනස් වෙන්නට සිදුවෙන සංසිද්ධියක් බැව් සිතන්නට තරම් ඇගේ සිතුවිලි මෝරා තිබුණේ නැත.   
“හරි.. හරි.. දැන් ඉතින් ඔය ඇඬුවා මදැයි.. තේ ටිකක් ගෙනත් දෙන්න ද..?” රේණුකා විමසුවාය.   
“එපා.. පොඩි නැන්දා තාත්තට කෝල් එකක් දුන්න ද..?”   
දිනේෂි විමසුවේ අම්මා නැතත් තාත්තා පැමිණියේනම් මේ සිතට බරක් වී ඇති ආගන්තුක හැඟීම්වලින් මිදෙන්නට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඕනෑම ගැටළුවකට තාත්තා ළඟ විසඳුමක් ඇතැයි ඇය හැමදාමත් විශ්වාස කළාය.   
“ඔව්.. දවල්ටත් ඉස්පිරිතාලෙට ගිහින්ම හවස එන්නම් කිව්වා..” 

 
ඇය අම්මාට කී ආකාරයටම ඥාති දියණියටත් බොරුවක් කීවාය. දිනේෂිගේ හැඬුම්බර මුහුණ හදිසි සතුටකින් ආලෝකමත් වූයේය.   
“හැබැයි කෙල්ලෙ තාත්තා ආවට ඔයාට කතාබහ කරන්නනම් හම්බ වෙන එකක් නෑ.. මතකයිනෙ ආච්චි කිව්වා පිරිමි ඇහැ ගැටෙන්න හොඳ නෑ කියලා..” රේණුකා සිහිපත් කළාය.   
දිනේෂිගේ මුහුණ මලක් පර වූවාක් මෙන් මුකුලිත වෙන්නට නිමේෂයක්වත් ගත වූයේ නැත.   
“මේ ඉතින් අපේ තාත්තනෙ..”   
ඇය කීවේ මුහුණේ පෙනුමටම සරිලන හඬකිනි.   
“තාත්තත් පිරිමියෙක්නෙ මෝඩියෙ..”   
“අනේ පොඩි නැන්දා.. මට හුඟක් දවස් මෙහෙම කාමරේ ඇතුළට වෙලා ඉන්න වෙයි ද..?”   


“ඔන්න ඉතින්.. ආයෙමත් අඬන්න එහෙම ලෑස්ති වෙන්න එපා.. කී දවසක් ඉන්න වෙයි ද කියලා ආච්චි ආවහම තමයි දැන ගන්න වෙන්නෙ.. ළඟ නැකතක් වැටුණොත් ඉක්මනට එළියට යන්න පුළුවන්.. නැත්නම් ඉතින් දවස් ගාණක් ඉන්න වෙනවා.. මම දවස් අටක්ම හිටියා නැකැත් නැතුව.. එපා වුණා..”   
රේණුකා කටකොනකින් සිනාසී කියද්දී දිනේෂි ඇය දෙස බැලු‍වේ දෙනෙත් විහිදාගෙනය. තමාටත් එසේ ඉන්නට සිදු වුවහොත් සිර ගෙයක සිටින්නාක් මෙන් දැනෙනු ඇතැයි ඇයට සිතිණි. මේ ටික වේලාවේ පවා ඇය සිටියේ අසීරුවෙනි. ආච්චිලාගේ වත්ත පුරා ඇවිදිමින් ගඩාගෙඩි කන්නට, වසු පැටව් සුරතල් කරන්නට ඇය ආශාවෙන් සිටියාය. ඊටත් වඩා අම්මාගෙන්, තාත්තාගෙන්, මල්ලිලාගෙන්, නංගීගෙන් ඈත් වී දිගු කලක් සිටින්නට ඇයට නොහැකි වූයේය.   
“තාත්තා ඉස්පිරිතාලෙ ගියාම මල්ලිලයි, නංගියි තනියෙන් ගෙදර.. එයාලට තේ ටිකක්වත් හදාගන්න බැරි හින්දා බඩගින්නෙ ඉඳියි ද දන්නෙත් නෑ.. අම්මා ගෙදර ආවම එයාටත් ටික දවසක් යනකම් වැඩ කරන්න බෑනෙ..” ඇය හූල්ලමින් කියාගෙන ගියාය.   
“ඔය කියන්නෙ මං හිටියා වාගෙ දවස් ගාණක් ගෙයි මුල්ලෙ ඉන්න බෑ කියලනෙ.. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ.. තමන්ගෙ දෛවයෙ මොනවා ලියවිලා තියෙනව ද කවුද දන්නෙ..? එන විදියකට මූණ දෙන්න හිත හදා ගන්න එකයි තියෙන්නෙ..”   
රේණුකා කීවේ දිනේෂිගේ මුහුණ එහෙම පිටින්ම අඳුරු කරවමිනි. යෙහෙළියන් කළ ආකාරයට අලු‍ත් ඇඳුම් ඇඳ රන් අබරණ පැළඳගෙන උත්සව පවත්වන්නට, තෑගිබෝග ලබා ගන්නට ඇය තුළ තිබූ ආශාව මේ වන විට පහව ගොස් තිබිණි. මෙතැනින් මිදී හැකි ඉක්මනට නැවතත් නිවසට යාමට ඇයට වුවමනා වූයේය. එහෙත් ඇය ඒ බවක් නැන්දාට නොකීවේ ඇය කෝපයට පත්වෙනු ඇතැයි බියෙනි.   


පහළ ගෙදර විනීතාගේ දියණිය පැමිණි බැවින් දිනේෂිගේ තනිනොතනියට ඇය නතර කළ රේණුකා එළියට පැමිණ නැවතත් අයියාට දුරකථන ඇමතුමක් දුන්නාය.   
“අනේ නංගී.. ජිනාට අමාරුයිලු‍.. ගිනි ගොඩක් උඩ ඉන්නවා වාගෙ මාව පිච්චෙනවා.. මම මොකද කරන්නෙ කියලා කියන්නකෝ..”   
ඔහු කවදාවත් නැති තරමේ අසරණ ස්වරයකින් කියද්දී ඒ ගින්න තමා වෙතත් පැමිණියාක් මෙන් හැඟීමක් රේණුකාට දැනිණි.   
“අම්මා නැකැත් බලන්න ගියා.. ආවහම පත්තිනි දේවාලෙට බාරයක් වෙන්න කියලා මම කියන්නම්..”   
සිය සොයුරා එවන් දේවල් මිථ්‍යා මත බවට තර්ක කරමින් බැහැරලන බැව් දැනදැනම ඇය කීවාය. ඉන් එහා කිසිවක් ඇයට සිහිපත් වූයේ නැත.   
“ඒ වගේ දෙයක් හරි කරන්න නංගී.. හැබැයි ලොකු දුවට මොකුත් දැන ගන්න තියන්න එපා.. ඒකි අවුල් වෙයි..” ඔහු කීවේ හූල්ලමිනි. “මං හවස් අතේ ඇවිත් යන්න එන්නංකො..”   
එසේ කියද්දීම ඔහු මොන තරම් අසරණ වී ඇද්දැයි රේණුකා සිතුවාය. තමා පිළි නොගන්නා, ප්‍රතික්ෂේප කරන දේවල් පවා බිරිඳ, දරුවන් වෙනුවෙන් කරන්නට නොපැකිළෙන පිරිමි අතර ඔහු ඉදිරියෙන්ම සිටින්නේය.   


“මෙහෙ නාවත් කමක් නෑ.. අයියා ඔහෙ කරන්න තියෙන දෙයක් කර ගන්නකො.. අපි කෙල්ල බලා ගන්නම්.. ”   
ඇය පොරොන්දුවක හඬින් කීවාය. ඔහු හෙලූ සුසුම මහා බරට සිය සිත පත්ලේ තැන්පත් වූවාක් මෙන් ඇයට දැනිණි.   
හීන් නෝනා ගෙදර ආවේ පැයක් හමාරක් ඉකුත් වූවාට පසුවය. ඇගේ මුහුණ අඳුරු වී තිබුණේ අව්වේ පැමිණීම නිසා හෝ වෙහෙස නිසා නොවන බැව් රේණුකා වහා වටහා ගත්තාය. ජිනාදරී අක්කාගේ තත්ත්වය ගැන දැන ගන්නට ද ඇයට හැකියාවක් නැත. දිනේෂිගේ පලාපලවල කුමක් හෝ පරහක් ඇති බැව් නිසැකය.   
“ඔන්න ඕක අරන් තියාපන්..”   


කතාබහක් නැතිව කෙළින්ම කුස්සියට ගිය හීන් නෝනා ගුරුලේත්තුවෙන් කෝප්පයට හලා ගත් වතුර ටික බීගෙන බීගෙන ගිය ඉනික්බිතිව ඉණේ ගසාගෙන සිටි හතරට නැමූ සුදු කොළය රේණුකාට පෑවාය.   
“නාවන්න ළඟම නැකත තියෙන්නෙ හෙට උදේට.. තව හුඟාක් හොඳ නැකතක් තියෙනවා කිව්වා දවස් පහකින්.. මේ වෙලාවේ එච්චර කල් තියලත් බෑනෙ ඉතින්.. මම කිව්වා හෙට තියෙන නැකත දෙන්න කියලා.. උත්සවයක් එහෙම ගන්නවානම් කිත්තලා පස්සෙ කර ගන්නෙ නැතෑ...”   
කියූ හීන් නෝනා පුටුවකට බර වූයේ සුසුමක් ද හෙලමිනි.   
රේණුකා කොළය දිග හැරියාය. එහි වූයේ උතුර බලා පාන්දර පහයි හතළිස් තුනට දිය නෑවිය යුතු බව හා දිය කළයට දැමිය යුතු ඖෂධ වර්ග ගැන විස්තරයක් පමණකි. නියම පලාපල ලියැවී තිබුණේ අම්මාගේ මුහුණේ බැව් ඇයට හැඟිණි.   
“මොකක් හරි පරහක් තියෙනව ද අම්මා..?”   
ඇය සංකාකූල හඬින් විමසුවාය.   


“ඔව් බං.. ලොකුම පරහක්..” හීන් නෝනා හීල්ලු‍වාය.   
රේණුකා අම්මා දෙස බලා සිටියේ දෙනෙත් අයාගෙනය.   

 

 

 

 

ලබන සතියට.