’’අධිෂ්ඨානයේ පාද යාත්‍රාව’’ අද නිට්ටඹුව සිට කැලණියට


(ගම්පහ තිලකරත්න දිසානායක.)

දශක තුනකට ආසන්න කුරිරු ත්‍රස්තවාදී සටනේදී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීම පිණිස දෙනෙත් අහිමිවූ සහ පාදයක් ආබාධිත යුධ හා නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකු යාපනය, නාගදීපයේ සිට කතරගම,  කිරිවෙහෙර දක්වා ගමන් ගන්නා " අධිෂ්ඨානයේ පාද යාත්‍රාව " 22 වෙනි දිනට නිට්ටඹුව සිට කැලණි විහාරස්ථානය දක්වා අද (14) පෙරවරුවේ ගමන් ගත්තේය.


යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ ආර්.ඩබ්ලිව්.වී. පියතිස්ස සහ නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ එම්.ඩබ්ලිව්. කුමාර යන රණවිරුවන් දෙදෙනා නාගදීපයේ සිට ශ්‍රී පාදස්ථානය ඔස්සේ කිලෝ මීටර් 1000 ක පමණ දුරක් ගෙවා කිරිවෙහෙර බලා යන ගමනේදී  මෙම පා ගමනට කිතුල්ගලදී එක්ව ඇති සුනඛයින් දෙදෙනෙකු ගම්පහ ඔස්සේ යන විටත් සිටිනු දක්නට ලැබිණි.


යුද හමුදා 41 සේනා මූලස්ථානයේ 5 වැනි විජයබා පාබල රෙජිමේන්තු සාමාජිකයින් පිරිසක්ද සමගින් තූර්ය වාදක ඛණ්ඩයක් පෙරටුකොට ගනිමින් ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයෙන් ගමන් ගැනීමේදී යුද හමුදා 8 වන බලඇණියේ පාබල හමුදා දෙල්ගොඩ කඳවුරේ අණදෙන නිලධාරී මේජර් අනුර නානායක්කාර මහතා ඇතුළු නිලධාරීන් සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගන්නා ලදී.