‘‘ස්වයං රැකියා පුහුණුව ලබා පිටවන රැඳවියන්ට ග්‍රාමසේවා සහතිකය ගැනීම ගැටලුවක්‘


(පාලිත ආරියවංශ)
 
සිරගත වන පුද්ගලයන්ට බන්ධනාගාර තුළදී ස්වයං රැකියා පුහුණුව ලබාදෙන නමුත් ඔවුන් නිදහස ලබා සමාජ ගතවන විට රැකියා සොයා යාමේදී ග්‍රාමසේවා සහතිකය ගැනීම ගැටලුවක් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය.

 
බන්ධනාගාර මානවක බාලදක්ෂයන්ගේ තෙදින බාලදක්ෂ ජම්බෝරිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තල්දෙන  තරුණ වරදකරුවන්ගේ  විශෝධන මධ්‍යස්ථානයේ දී අද (15) පැවැත්විණ.
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ  සැකකරුවන් හා සිරකරුවන් රඳවා තබන බන්ධනාගාර 30 ක් පවතින බවත් 25,300 ක් පමණ වූ සිරකරුවන් හා සැකකරුවන් ඒවායේ රඳවා තිබෙන බවත් ඒ මහතා පැවසීය.
 
රඳවා ගැනීමේ ධාරිතාවය 12,000 ක් පමණ වන අතර සිරකරුවන්ට වඩා සැකකරුවන් සංඛ්‍යාව ඉහළ යාම මේ තත්ත්වයට හේතුවී  ඇති බවත් දැනට සිටින රැඳවියන් අතරින් 16,000 ක් පමණ සැකකරුවන් මත්ද්‍රව්‍ය හෝ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවන් බවත් ඒ මහතා සඳහන් කළේය.
 
ලබන වසරේ හතර වන බන්ධනාගාර මානවක බාලදක්ෂ ජම්බෝරිය අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඒ සඳහා බාලදක්ෂ ධජය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී රෝහණ ගලප්පත්ති මහතාට භාරදීම ද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අතින් සිදුවිය. .