‘බොනවිස්ටාවට අධ්‍යාපන ඇමැති ආ එක විහිළුවක්‘ - චන්දිම වීරක්කොඩි


(නිමල් අල්ගෙවත්ත)

ශ්‍රීලනිපයේ හා එජාපයේ සංවිධායකවරු දෙන්නාම  දන්නේ නැතිව අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා ඇවිල්ලා හබරාදුවේ බොන්විස්ටා විද්‍යාලය නිරීක්ෂණය කරනවා නම් ඒක විහිළුවක් යැයි වෘත්තීය පුහුණු හා නිපුනතා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද(11) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී පැවසීය.

හබරාදුව සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ සහ හබරාදුව එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

‘මේ ආසනයේ පක්ෂ භේදයක් නැතිව හොදින් අපි වැඩ කරගෙන යනවා. එහෙම එකේ මේ ආසනයේ සියලු වැඩ කරන දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් කිසිකෙනෙක් දන්නේ නෑ. අධ්‍යාපන ඇමැති මෙතනට එනවා. ඉතින් අපි ඉන්නේ මොකටද? මෙහෙම වුනාම මම සැකකරනවා එජාප සංවිධායක තමයි මේ වැඩේ කළේ කියලා. එතුමා සැක කරනවා මම කැබිනට් එකේ දී මොකක් හරි ඩීල් එකක් දාගෙන කැබිනට් අධ්‍යාපන ඇමැති ගෙනවා කියලා. නමුත් හොඳ වෙලාවට එජාප සංවිධායක මට කතා කළා. එතුමා දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. කැබිනට් අධ්‍යාපන ඇමැති මේ ආසනයට ඇවිල්ලා.

 

හබරාදුව එජාප සංවිධායක හබරාදුව සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ණ මහතා කියා සිටියේ ‘‘අකිල විරාජ් ඇමැතිවරයා මට කතා කරලා ඇහුවා ඇයි ආවේ නැත්තේ කියලා. මම එතුමාට කිව්වා මමත් ඇමැති චන්දිමත් මේ ගැන දන්නේ නෑ කියලා. එතකොට එතුමා කිව්වා දන්නවා නම් මම කීයටවත් ඔතනට එන්නේ නෑ කියලා. ඇයි මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ‘‘ යනුවෙනි.

හබරාදු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා තක්ෂිලා ජයසේකර මහත්මිය එහිදී මෙසේ කියා සිටියාය.

‘‘හබරාදුව බොන්විස්ටා එකේ විදුහල්පතිවරයා විදුහල්පති රැස්වීමට එන්නේ නෑ. අනිත් රැස්වීම්වලට එන්නේ නෑ. මම කොහොම ද ගුරුතුලනය ගැන වාර්තා දෙන්නේ. අපි එක්ක ඒ විද්‍යාලය කිසිදු සම්බන්ධකමක් පවත්වන්නේ නෑ. අපේ කොට්ඨාසයේ තිබුනට ඒ පාසල එක්ක මට වැඩ කරන්න බෑ. මම මාණ්ඩලික නිලධාරියෙක් විදියට ඒ පාසල ගැන වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවට කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ලිඛිතව දැන්වුවා මේ පාසල සම්බන්ධයෙන් මම සොයා බලන්නේ නෑ කියලා‘‘

වෘත්තීය පුහුණ හා නිපුනතා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ ‘ඒක ඔබතුමියලන්ගේ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් නේ. දැන් අද ඒ විදුහල්පතිවරයා මේ රැස්වීමට ආපු නිසා ඉදිරියේ දී එයි මම හිතන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ බොන්විස්ටා එකේ ඉඩ තියේනම් ළමයි ගත්තට. නමුත් රජයේ ප්‍රතිපත්තිය අනුව වැඩ කරන්න ඕන. පාසලක් හැදිලා තියන තැන ද්වීතියික පාසල් අස්සේ තව එක එක්කෙනාට ඕන විදියට පාසල් ගෙනත් දානවා. ඔය පටන් ගන්න පාසල් වල රජයේ ප්‍රතිපත්යේ නැති වුනාම කවුද දැන් කරන අය නැති වුනාම ඕවා කරන්නේ. කෙහොම වුනත් ඉදිරයේ දී වැඩ කරන කොට සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරලා වැඩ කරන්න‘ යනුවෙනි.