‘ජනපතිවරණයට කුළල් කාගන්නවා වෙනුවට ඇල්පිටිය මැතිවරණය ජයගත යුතුයි’


(නිමල කොඩිතුවක්කු)
 
වත්මන් දේශපාලන වාතාවරණය අනුව කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරණය අල්ලාගෙන කුළල් කා ගැනීම නොව කලින්ම පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය ජයග‍්‍රහණය සඳහා ක‍්‍රියාකිරීම යැයි සභානායක සහ රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට අද(4) පැවැසීය.
 
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායමට එළැඹෙන  ජනාධිපතිවරණයේදී පැහැදිලි වාසියක් අත්වනු ඇතැයිද සභානායක  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
1993 වසරේදී දකුණු පළාත් සභාව ජයග‍්‍රහණය කළ පොදුජන එක්සත් පෙරමුණ එතැන් සිට ජාතික මැතිවරණ සියල්ලක්ම  ජයග‍්‍රහණය කළ බව පෙන්වා දුන් සභානායක  අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 2014 දී ඌව පළාත් සභාව ජයගත්  එක්සත් ජාතික පෙරමුණ ඉදිරි ජාතික මැතිවරණ සියල්ලක්ම ජයගන්නා බවද කියා සිටියේය.
 
ඉහත පසුබිම අනුව වත්මන් දේශපාලන තලයේ තීරණාත්මක සාධකය වන්නේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය ජයග‍්‍රහණය බව පෙන්වා දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය අමතක කර  ජනාධිපතිවරණයක් අල්ලාගෙන කුළල් කා ගැනීම කිසිදු ප‍්‍රතිඵලයක්  නොදෙන කටයුත්තක් යැයිද කියා සිටියේය.ගමට වැඩියෙන්ම වැඩ කර තිබෙන ආණ්ඩුව ලෙස එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය පහසුවෙන්ම  ජයග‍්‍රහණය කරනු ඇතැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.
 
එම ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත්  ජාතික පෙරමුණේ සියලු දෙනාම එකමුතුව වැඩ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද  ඔහු වැඩිදුරටත් පැවැසීය.