(කේ. බුද්ධික කුමාරසිරි)
මීගොඩ, බටවල ප‍්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයා බව කියන, පසුගිය පළාත් පාලන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු අපේක්ෂකයකු නිවසේදී කසිප්පු නිෂ්පාදනය කරමින් සිටියදී අද (30) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
මීගොඩ පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවසට ගොස් ප‍්‍රශ්න කිරීමේදී සැකකරු එම චෝදනාව ප‍්‍රතික්ෂේප කර ඇත.
නමුත් එම අවස්ථාවේදී නිවස සෝදිසි කිරීමේදී එක් කාමරයක කසිප්පු නිෂ්පාදනය කරමින් තිබියදී හසු වූ බව පොලීසිය කියයි.
ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක්, තඹ දගරයක්, කසිප්පු නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සහ මත්පැන් ස්ප්‍රීතු බෝතල් තුනක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ස්ථීර රැකියාවක් නොමැති පුද්ගලයෙකු බවත් සමාජ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් සමාජ සේවාවලට සම්බන්ධව කටයුතු කරන වයස අවුරුදු 35 ක අයෙකු බවත් පොලිසිය කියයි.
සැකකරු සහ මත්පැන් උපකරණ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.