හැටන් සිට දික්ඔයට යන වතුර මහ මග


(රංජිත් රාජපක්‍ෂ)

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් ප‍්‍රාදේශීය කාර්යාලය මගින් හැටන් සිට දික්ඔය නගරය දක්වා ජලය රැගෙන යන ජලනලයක දින ගණනාවක සිට ජලය කාන්දුවන බව එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හිමියන් හා ප්‍රදේශවාසීහු පවසති.
 
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාව දැනුවත් කර තිබූණද ජල මෙලෙස දින ගණනාවක සිට ජලය අපතේ යන බව ඔවුහු චෝදනා කරති.

හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගය අසල ජලනලයක් මෙලෙස කැඩි ගොස් තිබේ.

අධික පිඩනයකින් ජලය පහළට ගලා බැසිම නිසා විශාල ජල ප‍්‍රමාණයක් එම ජලනලය පුපුරා ඇති ස්ථානයෙන් කාන්දු වන බව ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් හැටන් ජාතික ජල සම්පාදන ජල ප‍්‍රවහාන මණ්ඩලයේ ස්ථාන භාර නිලධාරි සංජිව අබේධිර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ මෙම ජලකාන්දුව ගැන තමන්ට පැමිණීල්ලක් ලැබි නොමැති බවත් ඒ පිළිබදව වහාම සොයා බලන බවත් ය.