හකුරුවෙල වැසියෝ විරෝධතාවක


(චන්ද්‍රසේන ගමගේ)

ගොඩගම සිට මත්තල දක්වා ඉදිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට යට වෙන තම දේපලවලට ප්‍රමාණවත් වන්දියක් නොලැබෙන බව කියමින් හා ගම හරහා මහා පස්කදු ගොඩ ගසමින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය නිසා තම ගම්බිම් ගංවතුරට හසුවෙන බවට චෝදනා කරමින් වීරකැටිය හකුරුවෙල ප්‍රදේශවාසීහු පිරිසක් අද (28)  විරෝධතාවක් කළහ.
 
විරෝධතාවය ආරම්භ කිරීමට පෙර වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා   වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහජනතාවට පීඩාකාරී ලෙස විරෝධතාවයේ නොයෙදෙන ලෙසට දෙනු ලැබූ නියෝගයක් මෙම විරෝධතාවට සහභාගී වූ සමස්ථ ලංකා ගොවිජන සංමේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට ලබා දුන්නේය.

විරෝධතාකරුවන් පවසන්නේ ඉදිවෙන අධිවේගී මගට පරම්පරා ගණනක් ජීවත් වු තම ගේ දොරත් වතුපිටිත් අහිමි වී ඇති බවත් ඒ සදහා ප්‍රමාණවත් වන්දි මුදලක් දෙන්නට ඇති වගකීමෙන් ආණ්ඩුව මග හරිමින් සිටින බවත්ය.

තමන්ගේ ඉඩමේ පිහිටි කරපිංච ගහටත් වන්දි දෙන බව පවසමින් තමන් මුලා කර තම දේපල පැහැරගන්නට ආණ්ඩුවේ නිලධාරීන් කටයුතු කළ බව පවසන විරෝධතාකරුවෝ මේ වන විට තමන්ට තර්ජනය කරමින් ගම්බිමි වලින් ජනතාව ඉවත්  කරන්නට උත්සාහ ගනිමින් සිටින බවද පැවසූහ.