හංවැල්ල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු අංගොඩ සදහම් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ හිඹුටාන පදිංචි 26 හැවිරිදි අයෙකි.
 
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු සමග අපරාධය සිදුකිරීමට ගමන්ගත් යතුරුපැදිය, අපරාධය වන අවස්ථාවේ සැකකරු පැළදි සිටි කබා සහ ආරක්ෂක හිස්වැසුම් දෙකද පොලිසිය බාරයට ගෙන ඇත.