(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කරණවෑමියෙකු හා ඔහුගේ බිරිඳ අද (20) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිසි අවසරයක් නොමැතිව සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව අනාරක්ෂිත අයුරින් අලුත්ගම ප්‍රදේශයේ කරණවෑමියෙකු නිවසට යාබද කූඩාරමක් තුළ කොණ්ඩා කපන බවට මැදගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මධුෂාන් මහතාට ප්‍රදේශවාසීන්ගෙන් ලද දුරකථන ඇමතුම් කිහිපයක් අනුව වහා ක්‍රියාත්මක වූ ඔහු එම නිවස සොයා ගොස් තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පුද්ගලයෙකුගේ කොණ්ඩය කරණවෑමියෙකු කපන අයුරු දුටු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් කොණ්ඩ කැපීම වහා නතර කරන ලෙස පවසා ඇත.
මේ වනවිට ව්‍යාප්තව තිබෙන කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව රැකියාව කරන ලෙස කරණවෑමියෙකු දැනුවත් කිරීමට සෞඛ්‍ය පරීක්ෂකවරයා පියවර ගෙන තිබූ බව පොලිසිය පැවසීය.
එම අවස්ථාවේදී කරනවෑමියා සහ ඔහුගේ බිරිඳ ආවේගශීලීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බැන වැදී තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.