(නිශාන්ත කුමාර )
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්පිටිය, අඹගහවෙල හා පුස්සැල්ලාව ගම්මාන හරහා හමා ගිය තද සුළඟ හේතුවෙන් එම කොට්ඨාසයේ එක් නිවසක් මතට ගසක් කඩා වැටී ඇති අතර තවත් නිවාස 4ක වහල ගැලවී ගොස් ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතා පැවැසීය.
සුළගින් සිදුවූ මෙම අනතුරු සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා නිලධාරී කණ්ඩායමක් අද උදෑසන එම ප්‍රදේශවලට පිටත්කර යැවූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසිය.
සොරණාතොට දික්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම නිවසට හානි සිදුව ඇති අතර නිවැසියන් වෙනත් ස්ථානයකට පිටත් කරවීමට කටයුතු කළ බවද ප්‍රාදේශීය ලේකම්වරයා කීය.
විටින් විට හමා ගිය සුළං හේතුවෙන් තවත් නිවාස කීපයකට සෙවිලි කර තිබූ සෙවිලි තහඩු කීපයක් සුළගේ ගසාගෙන ගොස් ඇතත් එමගින් බරපතල හානියක් සිදුවී නැතැයිද අද (30 ) දහවල් වන විට එම නිවාස යථා තත්වයට පත් කර ගත හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.