සැඟව සිටි ලියාපදිංචි අපරාධකරුවකු අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

හොරණ සහ පිළියන්දල ප්‍රදේශවල නිවාස 5ක් කොල්ල කා සැඟව සිටි, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හොරණ හල්තොට ප්‍රදේශයේ නිවසකදී අද(01) අත්අඩංගුවට ගත් බව මිරිහාන හා විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙකි.
 
රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක්, පවුම් දහයකට අධික රන් ආභරණ සහ කැමරාවක් ද ඔහු සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයා 1996දී ඇල්පිටියේ කළ සොරකම් ගණනාවකට බන්ධනාගාර ගතව සිටි අයෙකු බවද අනාවරණය වී ඇත.
 
මොහු ඇල්පිටිය පොලිසියේ ලියාපදිංචි අපරාධකරුවකු බවද, මීට වසර කිහිපයකට ඉහතදී විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බවද, මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති බවද සොරාගත් දේපළ මොරටුව සහ පිළියන්දල ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට උකස් කර ඇති බවද පොලිසිය කියයි.
 
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.