සායනික අපද්‍රව්‍ය ඇළට බැහැර කළ දෙදෙනා රිසිට්පතකින් අල්ලා ගනී



 
 
(මොහොමඩ් ආසික්)
 
මහනුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් ඉවත් කරනු ලබන සායනික අපද්‍රව්‍ය මළු 45 ක් පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වටගොඩ කනාමැදිරි ඇළට බැහැර කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා යොදා ගත්  ලොරි රථයද සමඟ  අද (23) අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය පවසයි.
 
අද   අළුයම් කාලයේ  මෙම සායනික අපද්‍රව්‍ය මළු 45 ලොරි රථයකින් වටගොඩ ප්‍රදේශයෙන් ගලා ගොස්  පිඟා ඔයට එක් වන කනාමැදිරි ඇළ නමින් හඳුන්වන ඇළට  බැහැර කර තිබේ.  
 
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය එම මළුවල තිබූ  රිසිට්පත් ඇසුරෙන් මෙම සැකකරුවන් සහ ලොරිය   අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම පෞද්ගලික රෝහල සිය අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පෞද්ගලික ලොරි රථවලට කුලී පදනම මත  ලබා දෙන බවත් ඒවා මහනුවර මහ නගර සභාවේ කසල බැහැර කරනු ලබන අංගනයට බදු මුදල් ගෙවා බැහැර කළ යුතු බවත් එසේ බදු මුදල් නොගෙවා මෙම ස්ථානයට හොර රහසේම ගෙනවිත්  බැහැර කර ඇති බවත් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමඟ සායනික අපද්‍රව්‍ය මළු 45 සහ ලොරි රථය අද  (23) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.