රොහාන් කුමාර දිසානායක
ගලිගමුව සමුපකාර ඡන්දය සහ නාමයෝජනා බාරගැනීම නතර කරන ලෙස තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කෑගල්ල මහාධිකරණයේ පවරා තිබූ පෙත්සම අද (28) කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ප්‍රතික්ෂේප කළේය.
ගලිගමුව සමුපකාරය සඳහා නිලධාරීන් තේරීමට නාමයෝජනා බාරගැනීම හෙට (29) සහ අනිද්දා (30) දින දෙක සහ ඡන්දය විමසීම ජුලි 13,14, දෙදින ඡන්දය පැවැත්වීමට නියමිතව තිබිණි.
ඊට විරුද්ධව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ගලිගමුව සමුපකාර මණ්ඩල සභික සුනිල් පෙරේරා මහතා නීතිඥ සේනක ඉලංගම්තිලක මහතා මගින් අද (28) කෑගල්ල මහ අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබිණි.
එම පෙත්සම විමසීම සඳහා ගනු ලැබූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිත්තිරා වෙදසේකර මහත්මිය කියා සිටියේ මෙම පෙත්සම්කරු ද නියෝජිතයකු බැවින් මෙම පෙත්සම සත්භාවයෙන් තොර වූවක් බව පවසමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම ප්‍රතික්ෂේප කරමින් 29,30 දෙදින නාමයෝජනා බාරගැනීම සිදු කරන ලෙසත් ජුලි 13,14,දෙදින ඡන්ද විමසීම පවත්වන ලෙස ද නියෝග කළේය.