(විජේරත්න රත්නායක )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමේ අපේක්ෂාවෙන් සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්විය යුතුයි යන්න තම මතය බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (23) බදුල්ලේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
‘‘යහපාලන ආණ්ඩුවේ සිට අපි මැති ඇමතිවරුන් දහසය දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වුණා. මේ දහසය දෙනාගෙන් දයාසිරි ජයසේකර මහත්තයා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියත් අනෙක් අය ගියේ නෑ. දැන් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෝ. මගේ මතය නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් විය යුතුයි. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න සියළු දෙනාම පාහේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රන්කිරි කටගාපු අය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ අයට එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුව වැඩ කරන්න පුළුවන් කමක් නෑ.
ඒ වගේම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැඳෙන්න අවශ්‍යවී තිබෙනවා. ඒ සියළු දෙනාගේ බලාපොරොත්තු සඵල වෙන්න නම් මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනෑ. ඒත් දයාසිරි ජයසේකර මහත්තයාගේ අදහස්වලට අපට එකඟවෙන්න බෑ. මේ පක්ෂ දෙක එකතුවීමේ වෑයමක් ක්‍රියාත්මක වෙනකොට ඔහු කටයුතු කරන්නේ ඒ එක්වීම වැළක්වීමේ අරමුණින් බව පැහැදිළිව පේනවා.