වීරකැටියේ සිදුවූ අනතුරකින් 2 ක් මරුට


(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගයේ රාජපක්ෂ ජාතික පාසල ආසන්නයේ දී අද (01) සවස සිදු වූ රිය අනතුරකින් සය හැවිරිදි පාසල් සිසුවකු හා දාහතර හැවිරිදි  සිසුවියක් මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .

මියගිය දාහතර හැවිරිදි පාසල් සිසුවිය පෞද්ගලික පන්තියකට දැමීම සඳහා තම මව සමඟ බස් රථයකින් පැමිණ බසයෙන් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී වීරකැටිය දෙස සිට පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් පසුව තුවාල ලැබූ මව පුතා සහ දියණිය වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට පිටත්කර තිබේ.

තංගල්ල මූලික රෝහලේදී සය හැවිරිදි පාසල් සිසුවා මියගොස් ඇති අතර මාතර මහ රෝහලේ දී දියණිය මියගොස් ඇති බව පොලිසිය පැවසීය.මෝටර් රථය පදවා ඇත්තේ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු බවත් ඔහුට රියදුරු බලපත්‍ර නොමැති බවත් පොලිසිය සඳහන් කරයි මෝටර් රථය රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.