(වසන්ත චන්ද්‍රපාල සහ පියසේන වතුදුර)
පසුගිය දින කිහිපය තුළ ඉගිණියාගාල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශය තුළට ඇතිවූ වර්ෂාවෙන් සේනානායක සමුද්‍රයට අක්කර අඩි 14,500 ජල ප්‍රමාණයක් එකතු වී ඇති බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.
පසුගිය නියං සමයේ ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 12,500 දක්වා පහළ බැස තිබූ අතර එය සේනානායක සමුද්‍රය ඉදිකිරිමෙන් පසුව වාර්තා වූ අවම අඩුවීම බව වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය අක් අඩි 770,000 ක් පමණ වන අතර පැවති නියඟය සමඟ අක්කර අඩි 757,500 ක් පමණ ජලය අඩුවීමෙන් පසුගිය කන්නයේ ද කුඹුරු වගා කිරීම අඩු කිරිමට වාරිමාර්ග නිලධාරින්ට සිදුවිය.
මේ හේතුවෙන් ජලාශයේ සිටි මසුන් මියගිය අතර ධීවර කර්මාන්තයේ යෙදුණු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්විය.
මෙවර මහා කන්නය වගා කිරිම සඳහා වැසි ජලයෙන් සිදු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් ගොවීන්ට උපදෙස් දී තිබේ.
දැනට ලැබුණු වර්ෂාව සමඟ සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 29,000 ක් පමණ වන අතර ජල මට්ටමේ උස අඩි 34කි. පවතින වර්ෂාව සමඟ සුළු වශයෙන් ජලය එකතු වෙමින් පවතින අතර පසුගිය එක දිනක අක්කර අඩි 7000 ක පමණ ජල ධාරිතාවයක් ලැබී ඇත.
දැනට සේනානායක සමුද්‍රයෙන් ජලය නිකුත් කිරිමක් නොකරන අතර ගොවීන් වැසි ජලයෙන් කුඹුරු කරමින් සිටින ආකාරය මේ දිනවල දැකීමට හැකිය.
ඉදිරියේදි ලැබෙන වැසි වලින් ඉගිණියාගල සේනානායක සමුද්‍රයට මෙයිට වඩා වැඩි ජල ප්‍රමාණයක් එකතු විය හැකි බවද අම්පාර වාර්මාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.