වැස්සෙන් ආගරපතනේ පුද්ගලයින් 162ක් අවතැන්


(ශාන්ත චන්ද්‍රසිරි)

මධ්‍යම කඳුකරයේ පවතින වැසි සහිත කාලගුණික තත්තවයෙන් ආගරපතන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පවුල් 42 ක පුද්ගලයන් 162 කු අද (20) වනවිට අවැතැන්ව ඇතැයි ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. කදීර්චෙල්වම් මහතා පැවැසීය.

ලිඳුල එකමුතුගම ප්‍රදේශයේ පවුල් 14 ක පුද්ගලයන් 56 ක්, රහන්වත්ත ප්‍රදේශයේ පවුල් තුනක පුද්ගලයන් 21 ක් හා ෆර්හෑම් වත්තේ පවුල් 25 ක පුද්ගලයන් 85 ක් දැනට මෙසේ අවතැන්ව සිටින බවත්, නිවාසවලට පස් කඳු කඩා වැටීම් හා ජල ගැලීම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව ඇතැයි ඒ මහතා කීය.

එකමුතුගම ප්‍රදේශයේ නිවාසයක් මතට පස් කන්දක් වැටීමෙන් එම නිවසේ පදිංචි සාමාජිකයන් නව දෙනෙකු ජීවිත අනුනවයෙන් ගලවා ගෙන ඇති බවත් ඒ මහතා කීය.

මේ වනවිට එම පවුල්වල සාමාජිකයන් ඒ ඒ වතුවල ආරක්ෂිත ස්ථානවල තාවකාලිකව රඳවා සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පිසු ආහාර ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට ප්‍රාදේශීය සභාවෙන් පියවර ගෙන ඇති බවද කදීර්චෙල්වම් මහතා වැඩිදුරටත් පැවැසීය.