වැලිගෙපල දිසා රෝහලේ වෛද්‍යවරු හිඟයක්


(චාමින්ද දිසානායක)

වැලිගෙපල දිසා රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති විම නිසා රෝගීහු දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබේ .

වසර 100ක් පමණ පැරණි මෙම රෝහල 2015 සහ 2016 වසරවලදි ජාතික ඵලදායිතා සම්මාන වලට ද තේරී පත්විණි.

මෙම රෝහලෙන් දිනකට බාහිර රෝගින් 200ක් පමණ ප්‍රතිකාර ලබති.  මසකට 300කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබති .

මෙම රෝහල සදහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියකු ඇතුළු වෛද්‍යවරුන් හත් දෙනකු අනුමත වි තිබුණද මෙහි සිටින්නේ එක් වෛද්‍ය නිලධාරිනියක ,දන්ත වෛද්‍ය නිලධාරිනියක , ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනියක පමණි . සුවිසාල සේවාවක් සපයන මෙම රෝහලට මෙම වෛද්‍ය නිලධාරින් තිදෙනා කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් ඩස්මන් සුබසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  පැවසුවේ ‘අපි මේ ගැන ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමග කතා කරල සහන සේවයක් විදිහට හරි සතියකට වෛද්‍යවරයකු ලබා දෙන්න කියල කිව්වත් ඒක හරියට ක්‍රියාත්මක වුණේ නැහැ.මේ රෝහලේ සේවය කළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි අනුප්‍රාත්තිකයෙකු නැතුව මුදාහැරිම නිසා වසර දෙකක් පමණ එම පුරප්පාඩුවත් තියෙනවා. අපි මේ ගැන වරින් වර බලධාරින් දැනුවත් කළත් තවමත් සෙතක් වී නැහැ අපි රෝහල් සංවර්ධන කමිටුවෙනුත් තින්දුවක් ගත්තා මේ ගැටළුවට විසදුමක් නොමැති වුණොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා“


මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතාව සම්බන්ධ කරගැනිමට උත්සහ කළත් ඔහු මේ දිනවල විදෙස් ගත වි සිටින නිසා සම්බන්ධ කරගැනිමට නොහැකි විය .

සෞඛ්‍ය සේවා කාර්යාලයේ නම හෙළි නොකළ වෙනත් නිලධාරියකු පැවසුවේ මේ ගැන නාමිකව මාධ්‍යයට කිසිවක් පැවැසිමට නොහැකි වුවද අධ්‍යක්ෂකවරයා ලංකාවට පැමිණි විගස මේ ගැටළුව ගැන අවධානය යොමු කර කටයුතු කරන බවයි.