(ඉන්දිකා රාමනායක)
වාහන අමතර කොටස් මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට එවා තිබූ දේවරූප හා බීඩිකොළ කිලෝ 350 ක් සහිත කන්ටේනරයක් විශේෂ කාර්ය බලකාය හා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි.
තීරුබදු පැහැර හැරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තිබූ බවත් මෙම කන්ටේනරය මුදා ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය.
මෙම කන්ටේනරය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් කළ දැනුම් දීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වරයාට ගොස් රේගු නිලධාරීන් සමඟ එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම දේවරූප ලෑලි පෙට්ටි කිහිපයක දමා තිබූ බවත් එම රූප යටින් බීඩි කොළ අසුරා තිබු බවත් විශේෂ කාර්ය බලාකය කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය බාරයේ රැඳවාගෙන සිටින බව එහි උසස් නිලධාරියෙකු පැවසීය.