(පුෂ්පකුමාර ජයරත්න )
වාරියපොළ බන්ධනාගාරයේ අපජලය පිට කරන මාර් ගය උපයෝගී කරගෙන බන්ධනාගාරය තුළට ඉතා සූක්ෂ්ම ලෙස හෙරොයින් මත් ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් යැවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් පුද්ගලයා 25 හැවිරිදි මැල්සිරිපුර පන්සියගම පදිංචිකරුවෙක් බව පොලිසිය කීය.
වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසූරිය මහතාට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ ගනේවත්ත දුම්රිය ස්ථානය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට හසු නොවී පැන යාමට උත්සාහ දරා ඇති සැකකරු මෙල්ල කිරීමට යාමේදී සැකකරු විසින් එල්ල කරන ලද පිහි පහරකින් පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ඇත .
සැකකරු ළඟ තිබී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 2500 ක ප්‍රමාණයක් , ජංගම දුරකථන 5 ක් , දුම්කොළ 20 ක් , මත්පැන් බෝතලයක් සහ පිහියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පැමිණි යතුරුපැදියක්ද පොලීසිය බාරයට ගෙන තිබේ .
පොලිස් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ දිගු කලක සිට වාරියපොළ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ට මෙවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සැපයීමෙහි නිරතව සිටින බවය . මේ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ලැබෙන බවද සැකකරු ප්‍රකාශ කර ඇත .
ජලයෙන් නොතෙමෙන ආකාරයට පොලිතීන් කවර වල බහා මෙම ද්‍රව්‍ය බන්ධනාගාරයේ අපජල මාර්ගයට දමන බවද බන්ධනාගාරයේ එළිමහන් ප්‍රදේශය නිරීක්ෂණය සඳහා යොදවන නිලධාරීන් විසින් අපජල මාර්ගයට දමන එම ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යාම සිදු කරන බවද සැකකරු සඳහන් කළ බව පොලීසිය කියයි.