(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ව්‍යාජ මුදල් නෝට්ටුවකින් දරුවන්ට සෙල්ලම් බඩු මිලදී ගත් බවට වරද පිළිගත් දෙදරු මවකට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එම දඬුවම වසර 5 කට අත්හිටුවන ලෙස අද (23) නියෝග කළාය.
රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවීමටද විත්තිකාරියට නියම කළ විනිසුරුවරිය දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවම් ලබාදීමටද නියෝග කළාය. ඇහැටුවැව ගල්ගමුව පදිංචි ජේ.එම්.යමුනා තරංගනී (32) නැමැති තැනැත්තියකට මෙසේ දඬුවම් නියම කෙරිණ.
කුරුණෑගල මහාධිකරණයේදී අද (23) නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ප්‍රදීප් සෝලංගආරච්චි මහතා අධිකරණයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විත්තිකාරිය වරද පිළිගනිමින් නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට කැමති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ විත්තියේ නීතිඥවරයා පැවසුවේ චූදිත කාන්තාව වයස අවුරුදු 9ක සහ 15ක දරුවන් දෙදෙනෙකු සිටින මවක බවයි.
විත්තිකාරියගේ සැමියා පෙදරේරුවකු බවත් ඔහුට වැටුප් ලෙස ලැබුණු මුදලින් රුපියල් 500 නෝට්ටුවක් දරුවන්ට සෙල්ලම් බඩු මිලට ගැනීමට විත්තිකාරියට ලබාදුන් අවස්ථාවේදී මෙම ගැටලුව ඇතිවී තිබෙන බවත් විත්තියේ නීතිඥවරයා පැවසීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ අකිල අමුණුගම මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම වරද වෙනුවෙන් වසර 20ක් දක්වා සිරදඬුවමක් සහ දඩමුදලක් නියම කිරීමට අධිකරණයට බලය ඇති බවයි.
කෙසේ වෙතත් විත්තිකාරිය අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී වෙනත් ව්‍යාජ මුදල් නෝට්ටු හෝ ව්‍යාජ මුදල් නෝට්ටු සකසන උපකරණ කිසිවක් හමුනොවූ බවද කියා සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට සුදුසු යැයි හැගෙන දඬුවමක් විත්තිකාරියට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.