වවුනියාවේ හින්දු පුජකවරු-සිවිල් සංවිධාන සත්‍යග්‍රහයක


( සිතුම් චතුරංග)

මන්නාරම තිරුකේතීෂ්වරම් හින්දු කෝවිලට ඇතුළුවන මාර්ගයේ ඉදිකර තිබූ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරම, වවුනියාව හින්දු පූජකවරුන් ඇතුළු සිවිල් සංවිධාන අද (27)  වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරතවූහ.
 
පසුගිය 03 වැනිදා රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් මහ ශිවරාත‍්‍රී දිනය නිමිත්තෙන් රාජ්‍ය අනුමැතිය ඇතිව මාර්ගයේ ඉදිකළ තිරුකේතීෂ්වරම් කෝවිලේ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දමා තිබූ අතර එම ක‍්‍රියාව සිදුකළ පුද්ගලයින් පොලිසිය විසින් මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති බව සත්‍යග‍්‍රහයේ නිරතවූවෝ පැවසූහ.
 
අදාළ සිද්ධිය උතුරු පළාතේ ජීවත්වන ජනතාවගේ සාමය සංහිඳියාව බිඳ දැමීමේ චේතනාවෙන් සිදුකර ඇති අතර වරදකරුවන් අත්අඩංගුවටනොගැනීම හා නීතිය ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ විශාල සැකයක් මතුවන බව කීය.
 
මෙම සත්‍යග‍්‍රහය මන්නාරම තිරුකේතීෂ්වරම් කෝවිලෙහි ප‍්‍රධාන පූජක කේ.කරුණාරත්නම් කුරුක්කල් තුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර සත්‍යග‍්‍රහයේ නිරතවූවන් දිනයපුරා ආහාර පාන වලින් නොගෙන වරදකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් අධිෂ්ඨාන පූජාවකද නිරතවිය.
 
තිරුකේදීෂ්වරම් කෝවිලේ ස්ථීරව ඉදිකිරීමට නියමිත තොරණ සඳහා රජයේ සියලූ ආයතනයන් හි අනුමැතිය ලැබී ඇති අතර මෙම සිද්ධියෙන් එය ඉදිකිරීම පිළිබඳව හා එහි ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් මතුව ඇති බවද පැවසීය.
 
සිද්ධියට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවුනහොත් සත්‍යග‍්‍රහය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනබව සත්‍යග‍්‍රහයේ නිරතවූවෝ වැඩිදුරටත් පැවසූහ.