වර්ෂාවෙන් කොළඹත් මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි


(ආරියරත්න රණබාහු)

බස්නාහිර පළාත ඇතුළුව දිවයිනේ පළාත් කිහිපයකට අද (23) දවස පුරා ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යටවී වාහන ගමනා ගමනයට බාධා ඇතිවී තිබිණ.

මේ හේතුවෙන් අගනුවර සහ තදාසන්න මාර්ගවල දැඩි වාහන තදබදයක් දක්නට තිබූ අතර මගීන් දැඩි අසීරුතාවයකට පත් වූ බවද පැවසේ.

කොටුව,ග්‍රෑන්ඩ්පාස්,බ්ලුමැන්ඩල්,බොරැල්ල,කාසල් රෝහල අසල,තුම්මුල්ල,පුරහල,ඇස්වාට්ටුව ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබිණි.

කාර්යාල කටයුතු අවසන් වී පොදු ප්‍රවාහන සේවා වල ගමන් ගත් පිරිස් මෙන්ම පෞද්ගලික වාහන වලද ගමන් ගත් පිරිස් මේ නිසා එක ස්ථානයක පැය දෙකකට වඩා අධික කාලයක් රැඳී සිටීමටද සිදුවූ බව වාර්තාවේ.

මේ අතර මිලි මීටර් 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් ද නිකුත් කර තිබිණි.