(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ උඩකඩ ග‍්‍රාමයට නළ ජලය දින ගණනාවකින් නොලැබීමට විරෝධය පා අද (27) ගම්වාසීහු කොළඹ රත්නපුර ප‍්‍රධාන පාර අයිනේ විරෝධතාවක් පවත්වා කළගෙඩි, බාල්දි අතැතිව පෙළපාළියකින් කුරුවිට ප‍්‍රාදේශීය සභා කාර්යාලයට ගියහ.
නළ ජලය ලබාගන්නේ කුරුවිට ප‍්‍රාදේශීය සභාවේ පාලනය යටතේ පවතින කුඩා නගර ජල සම්පාදන ක‍්‍රමය මගින් බවත් දැනට සතියක කාලයක පටන් උඩකඩ ප‍්‍රදේශයට ජලය නොලැබෙන බවත් ජලය ලැබෙන අවස්ථාවල බොරපාට, පාව්ච්චියට කිසිසේත් නුසුදුසු අපවිත‍්‍ර ජලය ලැබෙන බවත් විරෝධතාකරුවෝ කීහ.
ජලය නොලැබුණත් පයිප්ප හරහා එන සුළඟට මීටර් කරකැවෙන බව කී විරෝධතාවේ නිරත පිරිස ජලය නොමැතිව බිල් ගෙවීමට සිදුව ඇතැයි ද ගම්වාසීහු චෝදනා කළහ.
ජල යෝජනා ක‍්‍රමයෙන් ජලය දිය හැකි පාරිභෝගික ප‍්‍රමාණය ඉක්මවා ජලය ලබාදීම ජල හිඟයට හේතුව වී ඇතැයි ද විරෝධතාකරුවෝ කීහ.
ප‍්‍රාදේශීය සභාවට මේ ජල යෝජනා ක‍්‍රමය නඩත්තු කරගෙන යා නොහැකි නම් ජලසම්පත් මණ්ඩලයට එය පවරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
ජල හිඟය පවතින උඩකඩ ප‍්‍රදේශයට බවුසර් මගින් දිනකට පානීය ජලය ලීටර් 15 බැගින් එක් ජල පාරිභෝගිකයකුට ලබාදීමටත්, පිරිසිදු කිරීමේ ක‍්‍රමයක් සකසන කුරු ගඟෙන් කෙළින්ම පොම්ප කරන ජලය ගෙදරදොරේ කටයුතු සඳහා නළ ඔස්සේ එවීමේ පොරොන්දුව මත පිරිස විසිර ගියහ.