වට්ටක්කා විකුණා ගැනීමට නොහැකිව මොනරාගල ගොවීන් අසරණ වෙලා


කේෂර ගුණතිලක)
 
මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වට්ටක්කා අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීහූ  අසරණ වී සිටිති.

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහම්බාන,වෙහෙරගල ඉත්තෑකටුව,කිවුලේආර යන ගම්මානවල පදිංචි ගොවීන් විශාල පිරිසක් දික්කන්ද, වරාපිටිය,වලන්දාවෙල,හත්තාර යන හේන් යායන් වල අක්කර හාරදහසක පමණ වට්ටක්කා වගාකර තිබෙන අතර මේ දිනවල අස්වනු නෙලමින් පවතී.

එම අස්වනු ගම්මානවලට රැගෙනවිත් නිවාස වල සහ ඉඩම් වල ගොඩගසා තිබෙන අතර ඒවා මිලදී ගැනීමට වෙළෙන්ඳන් නොපැමිණෙන බව ගොවීහු පවසති.

ඉදහිට ගොවීන් කිහිපදෙනෙකු පැමිණියත් වට්ටක්කා ඉල්ලන්නේ ඉතා අඩු මිලකට බව සඳහන් කරන ගොවීහු වියදම් පියවාගැනීමට වට්ටක්කා ට්‍රැක්ටර් ලෝඩ් එකක් රුපියල් 50,000 කට විකිණිය යුතු බව පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ තෙනගල්ලන්ද පදිංචි එස්.ඒ විමලරත්න මහතා මෙසේ කීය.
 
ගොවීන් විශාල පිරිසක් මෙවර වට්ටක්කා වගා කළා.වැඩි පිරිසක් වගාවන් කළේ ණයතුරුස් වෙලා.දැන් වට්ටක්කා කඩනවා.වට්ටක්කා ට්‍රැක්ටර් ලෝඩ් එකක් ගමට ගෙනඒම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා.නමුත් වෙළෙන්ඳන් එන්නේ නැහැ.වට්ටක්කා ගොඩ ගසා තිබෙනවා.කල් යනකොට වට්ටක්කා කුණුවෙනවා.ගොවීන් වන අපි මෙම තත්වය මත ඉතාමත් අසරණ තත්වයට පත්වී තිබෙනවා.අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මැදිහත්වෙලා වට්ටක්කා ගොවීන්ගේ අස්වැන්න මිලදීගන්න සාධාරණ වැඩපිළිවෙලක් දියත්කරන ලෙසයි.

එම්.ආර් ප්‍රේමාවතී මහත්මිය මෙසේ කීවාය.

‘‘මමයි පවුලේ අයයි වට්ටක්කා අක්කර 40ක පමණ වගා කළා.මේ දිනවල අස්වනු නෙලාගන්නවා.නමුත් විකුණගන්න විදිහක් නැහැ.අපි වට්ටක්කා වගා කළේ ණයවෙලා.ගිය අවුරුද්දේ වට්ටක්කා ට්‍රැක්ටර් ලෝඩ් එකක් රුපියල් ලක්ෂයකටත් වැඩියෙන් විකුණුවා.නමුත් මෙවර කීයටවත් ගන්නෙ නැහැ. බැංකුවට,ගමේ කඩේට ණයවෙලා තමයි වගාව කළේ.ණය ගෙවන්න තබා ගිය වියදමවත් අපට ලැබෙන පාටක් නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ වට්ටක්කා ගොවීන්ගේ අස්වැන්න අලෙවිකර ගැනීමේ ප්‍රශ්නයට මැදිහත් වෙලා සාධාරණ මිලකට වට්ටක්කා අලෙවිකර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.‘‘
 
 මේ පිළිබඳව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීය.
 
‘‘වට්ටක්කා ගොවීන්ගේ අස්වනු අලෙවි කරගැනීමට නොහැකි වීමේ ගැටලුව පිළිබඳව අපගේ අවධානය යොමුවී තිබෙනවා.ඒ පිළිබඳව රජය සමඟ සාකච්ඡා කොට ගොවීන්ට සාධාරණයක් ඉටුකිරීමට මැදිහත්වනවා.‘‘