ලෝක ග්ලූකෝමා සතිය වෙනුවෙන් දික්ඔය වෛද්‍යවරු පාගමනක


(සුදත් එච්. එම්. හේවා   සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
ලෝක ග්ලූකෝමා සතිය නිමිති කරගෙන දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල විසින් සංවිධානය කරන ලද පාගමනක් අද(06) හැටන් නගරයේදි පැවැත්විණි.
 
දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලේ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ කලාසිවයෝගනාදන් මහත්මියගේ උපදෙස් මත එම රෝහලේ වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම පාගමනට එක්ව සිටියහ.
 
ග්ලූකෝමා රෝගය හේතුවෙන් අන්ධභාවය ඇති විය හැකි බවත් එම රෝගයෙන් මෙම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පාගමන සංවිධානය කළ බවත් වෛද්‍ය කලාසිවයෝගනාදන් මහත්මිය පැවසුවාය.
 
යම් අයකුට ඇස් පෙනීම සම්බන්ධව හෝ ග්ලූකෝමා රෝගය පිළිබඳව යම් සැකයක් පවතින්නේ නම් ඒ දික්ඔය රෝහලේ අක්ෂි සායනයට පැමිණ පරීක්ෂා කර ගැනීමට හැකි බවද එම මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
 
පාගමන අතරතුර ජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුහු අත් පත්‍රිකා බෙදාදුන්හ.

(ඡායාරූප - සුදත් එච්. එම්. හේවා) 

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)