ලක්ෂ5ක හෙරොයින් අල්ලයි


(ඩී.ජී.සුගතපාල)
 
රුපියල් ලක්ෂ පහමාරක් පමණ වටිනා හෙරොයින් මෝටර් රථයකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු අද (13) සවස අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පියදිගම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පෙර වැරදි රැසක් තිබෙන අතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මෙයට මාසයකට පමණ පෙර ඇප ලබා පැමිණ යලිත් හෙරොයින් ජාවාරම පටන් ගෙන ඇති බව අනාවරණය වී ඇත.
 
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගිංතොට උක්වත්ත ප්‍රදේශයේ රැකවල්ලා සිට මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදි සැකකරු සන්තකයේ තිබී මෙම හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 230ක්  තොගය සොයාගෙන ඇත.
 
මෝටර් රථය පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසු එහි සුක්ෂම ලෙස තවත් හෙරොයින් සඟවා තිබේදැයි නිල සුනඛයා ලවා පරීක්ෂා කිරීමටද පියවර ගත්තේය.
 
සැකකරු සහ මෝටර් රථය හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.