(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
අක්මීමණ, නරාවල, මුලන යන ප්‍රදේශයන්හි නිවාස රැසකින් ලක්ෂ 2කට අධික දේපළ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අද (22) අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය කියයි.
අක්මීමණ පොලිසියේ විශේෂ කාර්යාංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 24 සහ 20 යන වයස් කාන්ඩවල පසුවන සැකකරුවන් දෙදෙනා හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහිවුවන් බව මූලික විමර්ෂණයේදි අනාවරණය වූ බව පොලිසිය කියයි.
සොරාගන්නා ලද භාණ්ඩ අතර විදුලි උපකරණ, ප්ලාස්ටික් ජල ටැංකි, පිත්තල භාණ්ඩ, ටකරන්, උදලු සහ අලවංගු වැනි ආයුධ මෙවලම් ආදී යනාදි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා භාණ්ඩ පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හෙට (23) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.