ලක්ෂ 6 ක මත්කුඩු සමඟ තරුණයකු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 6 ට ආසන්න  වටිනා මත්කුඩු පැකට් 500 ක් සමඟ 19 හැවිරිදි තරුණයකු  මාලිගාවත්ත කෙත්තාරාම හංදියේ දී කොළඹ මධ්‍යම  කොට්ඨාස දුෂණ මර්දන  ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් ග‍්‍රෑම් 30 ට ආසන්න ප‍්‍රමාණයක් තිබී ඇති අතර ඔහු  ඒවා කුඩා පැකට් වශයෙන්  පොලිතින් උරවල දමා  තිබූ බවද පොලිසිය පවසයි.

තොටගල පදිංචි මෙම සැකකරු මත්කුඩු තොගය මාලිගාවත්තේ ජාවාරම්කරුවකු වෙත ලබා දීමට යතුරු පැදියෙන් පැමිණෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව  වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුගෙන් මෙම මත්කුඩු  ලබා ගනීමට නියමිතව සිටි මාලිගාවත්තේ සැකකරු සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව පොලිසිය සැකකරුගේ නිවසට යන අවස්ථාවේ දී සැකකරු නිවෙසේ දොරවල් වසා  පැන ගොස් තිබූ බවද පොලිසිය කියයි.