ලක්ෂ 35ක ඇණ සොරකම්කළ සහ මිලදීගත් 5 ක් අත්අඩංගුවට


( රේඛා තරංගනී ෆොන්සේකා)

ගේට්ටු සහ වහල සැකසීමට යොදා ගන්නා ඇණ මොරටුව ප්‍රදේශය පුරා බෙදාහරින ආයතනයකට සංචරණ සීමා කාලයේදී විටින් විට ඇතුළුවී රුපියල් ලක්ෂ 35 ක් වටිනා ඇණ සොරාගත් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය  පැවසීය.

එම ඇණ මිලදී ගත් බව කියන සැකකරුවන් හතර දෙනෙකු ද  විකිණිමට සුදානම් කර තිබු ඇණ පෙට්ටි පහක් ද ඔවුන් සමඟ අත්අඩංගුවට ගත් බවද පොලීසිය  සඳහන් කළේය.

ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රදේශ කිහිපයක හාඩ්වෙයාර් සම්බන්ධ කොට ගනිමින් සිදු කළ පරීක්ෂාවකදී මෙම සැකකරු පිළිබඳව බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු ඔස්සේ යමින් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවසට යන විට අලෙවි කිරීමට ගෙන යෑම සඳහා සූදානම් කොට තිබූ ඇණ පෙට්ටි පහ ඔහුගේ නිවසේදීම සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අතර හාඩ්වෙයාර් හිමිකරුවෙකු සහ සොරකම සිදු කරන සැකකරුගෙන් ඇණ ලබාගෙන හාඩ්වෙයාර්වලට අලෙවිකරණයේ යෙදෙන ලෙස කටයුතු කරන සැකකරුවන් දෙදෙනෙකු ද සිටින බව පොලිසිය කීවේය.