ලක්ෂ 30 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙකු අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ 30 ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්‘ මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනකු පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා හා යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීම් වලදී කේරළ ගංජා කිලෝ 14ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 සොයාගත් බව පොලිසිය පවසයි.

කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේ සිට ඉරණමඩු දක්වා කැබ් රථයකින් ප්‍රවාහනය කළ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද පොලිසිය පවසයි.

ඔහු සතුව තිබී ජී.පි.එස්. යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යාමට අවශ්‍ය දිසාව එම ජී.පි.එස්. යන්ත්‍රය හරහා සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.

නාවික හමුදාව විසින් ලබාදුන් තොරතුරකට අනුව මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20 පමණ වටිනා කේරළ ගංජා කිලෝ 12 යි ග්‍රෑම් 450 සමඟ මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.

වවුනියාව කනගරායන්කුලම මාර්ග බාධකය අසලදී යතුරු පැදියක් තුල සඟවා අනුරාධපුරය ප්‍රදේශයට රැගෙන යමින් තිබූ කේරළ ගංජා කිලෝ දෙකක් සමඟ කාන්තාවක හා තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සතුව තිබූ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය හා වවුනියාව ප්‍රදේශයන් හි පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.