ලක්ෂ 15ක මැණික් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඇහැළියගොඩ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා මැණික් ගල් කිහිපයක් කැලණිය - ගල්වත්ත නිවසකදී කොල්ල කා, එම ව්‍යාපාරිකයාට හා ඔහුගේ තැරැව්කරුට පහර දී පලවා හැරි පුද්ගලයන් දෙදෙනකු අද(26) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
 
කොල්ලකන ලද මැණික් ගල් 4ක් සහ මැණික් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 5ක මුදලක් පොලිසිය සොයාගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔහු සන්තකයේ නිල් මැණික් ඇති බවත් එය විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයාදෙන ලෙසත් මීට දින කිහිපයකට පෙර තැරැව්කරුවකුට පවරා ඇත.
 
එම මැණික් ගල පරීක්ෂා කිරීම සදහා ඇහැලියගෙඩ ව්‍යාපාරිකයා පැමිණි අවස්ථාවේදී සැකකරු ඔහු සතුව තිබ ව්‍යාජ ගලක් පෙන්වා ඇත. එම ගල නොවටිනා එකක් බව ව්‍යාපාරිකයා දැනුම්දීමෙන් පසු ව්‍යාපාරිකයා සතුව තිබූ මැණික් ගල් කිහිපය ප්‍රධාන සැකකරුට පෙන්වීමේදී මෙලෙස එම මැණික් ගල් කොල්ල කා පහරදී ඇතැයි පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.