රිය අනතුරකින් අයෙක් මරුට


(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ යතුරුපැදියක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පැදිකරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පදිංචි සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ගුවන් හමුදා සෙබළ වීරසිංහ දේවගේ තාරක ප්‍රදීප් ඤාණතිලක (31 ) හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබේ.

 ගලේවෙල දෙසින්  යතුරුපැදිය ධාවනය වී ඇති අතර කැබ් රථය දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබී ඇතැයි පොලිසිය කියයි.
 
 සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිකරු ඉතා අධික වේගයෙන් දඹුල්ල දෙසට තවත් ටිපර් රථ දෙකක් ඉස්සර කරමින් ධාවනය වෙමින් තිබියදී ඉදිරිපසින් පැමිණි කැබ් රථය ඉදිරිපස  ගැටී ඇති බවය.
 
 එම ගැටීමත් සමඟ තුරුපැදිය ගිනි ගන්නට පටන් ගෙන තිබූ බව පොලීසිය කියයි. ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ අවට තිබුණු ජලය සහ වැලි පුරවා ගින්න මැඩ පවත්වා බවත් තුවාලකරු දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බවත් ඒ යන අතරතුර දී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.