රන්මාල කැඩුවැයි අයෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ රන්මාල කඩාගන්නා කොල්ල කල්ලියක සාමාජිකයකු බව කියන පුද්ගලයකු අද (23) වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

වවුනියාව ප‍්‍රදේශයේ කාන්තාවන්ගේ මාල හා රන්භාණ්ඩ කොල්ලකන කල්ලියක් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරකට අනුව වවුනියාව පොලිසියේ නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් රන්භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දීර්ඝ කාලයක් විදේශගතව සිට පැමිණ ඇති අතර එහිදී හමුවූ මිතුරන් සමග දෛනික මුදල් අවශ්‍යතා සඳහා මෙලෙස රන්මාල කඩාගැනීම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සොරාගන්නා ලද රන් භාණ්ඩ වවුනියාව නගරයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත ලබාදී මුදල් ලබාගෙන තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.

කොල්ල කල්ලියේ ප‍්‍රධානියා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.