යෝධ ඇළ දෙපස අනවසර ඉදිකිරීම් ඉවතට


(ක.ග.කරුණාරත්න )

ඇළහැර අමුණේ සිට වැව් අමුණු රැසක් පෝෂණය කිරීමට සහ කෙත් බිමිවලට දියවර රැගෙන යන යෝධ ඇළට හානි සිදුවන ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම අද(01) ආරම්භ කළ  බව වාරිමාර්ග නිලධාරීහු කියති.‍

විශේෂයෙන්ම යෝධ ඇළ අයිනේ පවත්වාගෙන යන වෙළඳසැල්වලින් බැහැර කරන පොලිතීන්  ඇතුළු අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් දිනපතා යෝධ ඇළට එක්වීම  නිසා විශාල පරිසර හානියක් සිදුවන හෙයින් මේ  පියවර ගත්බව ඇළහැර වාරිමාර්ග ඉංජිනේරු නාලක සමරසිංහ මහතා පැවැසීය.

අනවසර ඉදිකිරීම්  කර ඇති සහ නීති විරෝධී අන්දමින් වෙළඳසැල් පවත්වාගෙන යන අයට ඒවා ඉවත් කරගන්නා ලෙසට මීට පෙර දැනුම් දී  තිබෙන බවද ඒ මහතා කීය.

මොරගහකන්ද  ජලාශයේ සිට ඇළහැර අමුණ  දක්වා එන ජලය ගිරිතලේ , මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ මහවැව් කරා රැගෙන යනු ලබන්නේ යෝධ ඇළ ඔස්සේය. ඊට අමතරව ඇළහැර මහ අක්කර ගොවි ජනපදයේ කුඹුරු අක්කර 16000කට පමණ යල - මහ දෙකන්නයේ ජලය සපයන්නේද මෙම යෝධ ඇළෙනි.