(රොමේෂ් මධුෂංඛ)
අර්තාපල් සඳහා සහනදායි මිලක් නොමැති වීමත් ආනයනික අර්තාපල් හේතුවෙන් ගැටලු රැසක් ඇති වීමත් හේතුවෙන් යාපනයේ ගොවීහු පීඩාවට පත්ව සිටිති.
යාපනයේ පොන්නාලේ හා කඩ්ඩුවාන් යන පළාත්වල ගොවීන් වගා කළ අර්තාපල් වගාවල අස්වැන්න නෙළීමේ කටයුතු මේදිනවල සිදුවන නමුත් අර්තාපල් මිලදී ගැනීමේ මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ඔවුහු පවසති.
පෙබරවාරි මාසයේ අවසන් සතිවලදී අර්තාපල් කිලෝවක් රුපියක් 60ක තොග මිලකට පැවතියද එම මිල මේ වන විට රුපියල් 50 දක්වා පහත වැටී ඇති බවත් ඉදිරි කාලයේදී යාපනයේ අර්තාපල් අස්වැන්න නෙළීම වැඩි වනවිට කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටෙන තත්වයක් පවතින බවත් ගොවීහු පවසති.
යාපනයේ අල වගා කරන්නන්ගේ සංගමයේ උප සභාපති එස්. චන්ද්‍රසේකරන් මහතා සදහන් කළේ රජය අර්තාපල් ආනයනික බද්ද වැඩි කළද යාපනයේ අල ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි.
අල ගොවීන්ගේ සංගම් රජය සමග සාකච්ඡා කළ අවස්ථාවේදී රටේ අර්තාපල් අල සැපයුම නුවරළියේ හා යාපනයේ ගොවීන්ට ලබා දිය හැකි බැවින් අර්තාපල් ආනයනය සීමා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීමටද සහනයක් නොලැබුණු බවද ඔහු කියා සිටියේය.
රටේ අර්තාපල් අවශ්‍යතාවය නිවැරදිව ගණන් බලා ඒ ප්‍රමාණය නිපදවීමේ වගකීම යාපනයට හා දිවයිනේ අල වගාකරන සෙසු පළාත්වලට ලබා දෙන මෙන් අල වගා කරන්නන්ගේ සංගමය ඉල්ලා සිටියි.
අල ආනයනය කිරීම සඳහා විශාල මුදලක් නිකරුණේ වැය වන බව පවසන යාපනයේ අල ගොවීන් කියා සිටියේ අලෙවි කිරීමට නිසි පහසුකම් නොමැති නිසා ඇතැම් පළාත්වල අල ගොවීන් එම වගාව අතහැර දමා ඇති බවයි.
සාධාරණ මිලකට අල අලෙවි කරගැනීමට නොහැකි නිසා යාපනයේ ගොවීන් අල වෙනුවට රතුළූණු වගාවට යොමුව ඇති යාපනයේ අල ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.