මුරකරු යාබද වත්තේ කම්කරුවකුට වෙඩි තබයි


(පද්මා කුමාරී කංකානම්ගේ )

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත්,දලුව අක්කර 900 නම් වත්තේ මුරකරු විසින් අද (21 ) උදෑසන යාබද වත්තේ සිටි කම්කරුවකුට වෙඩි තබා ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු කම්කරුවා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

වෙඩි වැදුනු පුද්ගලයා දලුව පදිංචි,45 හැවිරිදි නිලන්ත හේරත් නම් තිදරු පියෙකි.

ඔහු කම්කරුවෙකු වන අතර,අක්කර 900 වත්තට යාබද,ඉන්දික සම්පත් කුමාර නම් පුද්ගලයාට හිමි ඉඩමේ ජල නළ පද්ධතියක් අලුත් වැඩියා කරමින් සිට ඇත.

තුවාල කරුගේ කණ ආශ්‍රිතව වෙඩි වැදී ඇති අතර,පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සැකකාර මුරකරු බෝර 12 තුවක්කුවක් වෙඩි තැබීම සදහා භාවිතා කර ඇති අතර,තුවක්කුව සමග සැක කරු අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර පවසයි.

නොරොච්චෝල පොලිසීය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.