මුදල් - උපකරණ මංකොල්ල කෑ ළමයෙක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු මුදල් හා උපකරණ තොගයක් මංකොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ වයස අවුරුදු 13 ක ළමයකු අත්අඩංගුවට ගෙන අද (30) අධිකරණයට ඉදිරිපත් කරන බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.

ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත අයෙකුගේ නිවසට අලුයම් කාලයේ කොල්ලකරු ඇතුළු වී නිවසේ තිබූ මුදලින් රුපියල් 40,000 ක්, ජංගම දුරකතන, ඩ්‍රෝන කැමරා ඇතුළු රුපියල් 64,000 ක් පමණ වටිනා විද්‍යුත් උපකරණ තොගයක් කොල්ල කා ඇති බවට නිවසේ හිමිකරු විසින් ඉරට්ටපෙරියකුලම් පොලීසියට පැමිණිලි කරන ලදී.

පසුව ඉරට්ටපෙරියකුලම් පොලීසිය අදාළ කොල්ලකරු සොයා පරීක්ෂණයක් ආරම්භ කරන අතුරතුර ක්‍රියාත්මක වූ වවුනියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් පැය 24 ක් යාමට පෙර කොල්ලකරු අත්අඩංගුවට ගැණිනි.