මී උණෙන් 6 ක් මරුට


(එස්. ඩී.කොඩිකාර)

කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ  මී උණ රෝගයෙන්  මේ වනවිට 6 දෙනෙකු මියගොස් ඇති අතර එයින් දෙදෙනකු කාන්තාවන් බවත් සෙසු අය පිරිමි පුද්ගලයන් බවත්  කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය, කොටපොළ, ආඩාරදෙනිය හා පරගල යන ප්‍රදේශවල අයවලුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය පවසයි.

මේ වනවිට මෙම කොට්ඨාසයෙන් මී උණ රෝගීන් 50-60 පමණ වාර්තා වී ඇති අතර මෙම රෝගයෙන් මිය යාමට හේතු වී ඇත්තේ නොසැළකිලිමත්කම හා නිසි ප්‍රතිකාර නොගැනීම බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කුඹුරුවල වැඩ කරන අයට පමණක් නොව කුඹුරුවල නියරවල්වල ගමන් කරන අයට, මැණික් පතල්වල වැඩ කරන අයට හා ජලාශ්‍රිත ස්ථාන ආශ්‍රිතව වැඩ කරන වෙනත් අයට පවා මෙම රෝගය වැළදිය හැකි බවත්, තද හිසේ කැක්කුම, උණ, ඇග පතේ වේදනාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය, මුත්‍ර පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මණින් රජයේ  රෝහලකට ඇතුළත් විය යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම මී උණ රෝගය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හරහා  කන්න රැස්වීම් ආදියෙහි  ගොවීන් දැනුවත් කර නොමිලේ බෙහෙත් ලබාදී ඇතත් එම බෙහෙත් පාවිච්චි නොකිරීම මී උණ වැළදීමට හා එම රෝගයෙන් මියයාමට හේතුවී ඇතැයි කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී නිෂාන් විදාන පතිරණ මහතා පවසයි.