මාධ්‍යවේදියාට එල්ල වූ ප්‍රහාරයේ දේශපාලනය සොයන්න


බිඟුන් මේනක ගමගේ 


ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත ද සිල්වා මහතාට හා ඔහුගේ බිරිඳට එල්ල වූ ප්‍රහාරය දේශපාලන පලිගැනීමකට සමාන යැයි ද ඒ ගැන කඩිනම් පරීක්ෂණයක් කර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


තුසිත ද සිල්වා මහතා සිය සංගමය සඳහන් කළ ආකාරයට කෘතිම රා නිෂ්පාදන වැටලීමක් සම්බන්ධයෙන් කළ වාර්තාවක් මෙම පහරදීමට පදනම්ව ඇතැයි ද කෘතිම රා නිෂ්පාදනයට චෝදනා ලැබූවන් විසින් මෙම පහර දීම සිදුකරනු ලැබූ බවට සැක කරන්නේ යැයි ද එහි සඳහන් වේ.


තම ආණ්ඩුවක් බලයට පත් වූ පසු අදාළ වාර්තාකරණයට පිළිතුරු දෙන බවට ප්‍රහාරයකයන් මීට පෙර තමාට තර්ජනය කළ බව තුසිත ද සිල්වා මාධ්‍යවේදියා පවසන්නේ යැයි ද ඒ අනුව මෙම ප්‍රහාරයේ දේශපාලන පලිගැනීමක් තිබේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල තර්ජනයක් යැයි ද  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනයෙන් අවධාරණය කරයි.


වෘත්තිය ජනමාධ්‍යවේදයට අවමන් සහගත සැලකීම් හැටියට සැලකෙන මෙවැනි සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බාධක යැයි ද එම නිසා මෙම සිදුවීම සුළු කොට නොතකා කඩිනමින්ම සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි.