මාතර-හම්බන්තොට අධිවේගයේ කොටසක් විවෘත කළැයි විරෝධයක්


(සනත් ගමගේ)
 
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ,  බරවකුඹුක - මත්තල කොටස පමණක් විවෘත කිරීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ගය දෙපස පදිංචිකරුවෝ බරවකුඹුක පිවිසුම අසළදී අද(06) වි‍රෝධය පළ කළහ.
 
අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී හානි වන ග්‍රාමීය මාර්ග යථා පරිදි සකස් නොකිරීම, වාරි මාර්ග පද්ධතිවලට හානි සිදුවීම, පදිංචි නිවෙස්වල බිත්ති පුපුරා යෑම ‍හේතුවෙන් ඒවාට වන්දි  මුදල් නොලැබීම, අධිවේගි මාර්ගයේ වැඩ නියම පරිදි අවසන් නොකිරීම යන කරුණු හේතුවෙන් මෙම විරෝධය පැවැත්විණි.
 
මාතර සිට බෙලිඅත්ත දක්වා පළමු කොටසත්, බෙලිඅත්ත සිට බරවකුඹුක දක්වා දෙවැනි කොටසත්, බරවකුඹුක  සිට මත්තල දක්වා අවසාන කොටසත් වශයෙන් අධිවේගී මාර්ගයේ කටයුතු කොටස් 3ක් යටතේ සිදුකෙරිණි. එහි පළමු හා දෙවන කොටස්වල වැඩ තිබියදීත්, අවසන් කොටසේ කටයුතු නිම නොකර හදිසියේ විවෘත කිරීම ආණ්ඩුවේ තවත් විහිලුවක් බව මෙම අවස්ථාවට සහභාගී වූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. ජානක මහතා පැවසීය.
 
හම්බන්තොට අධිවේගි මාර්ගය විවෘත කිරීමේ නාම පුවරුවේ නම යොදා ගැනීම සඳහා මෙම ආණ්ඩුව කරන කටයුත්ත සම්බන්ධව විරෝධය පළකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.