(කාංචන කුමාර ආරියදාස)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් සේරුවිල, මුතූර් ,වෙරුගල් ආදී ප්‍රදේශවල ජීවිත දස දහස් ගණනාවක් වැලි ජාවාරම නිසා අනතුරට පත්ව ඇතැයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති
රාජ්‍ය නිලධාරීන්ගේ ආධාර අනුබල ඇතිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක මහවැලි ගඟේ මහා පරිමාණයෙන් වැලි ගොඩදැමීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතයට මෙන්ම පරිසරයට බාධා රැසක් එල්ලවී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (30) දඹුල්ලේ දී පැවසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන පරිසර සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන රැසක නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවේ දී තම ප්‍රදේශයේ ජනතාවට සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳව අදහස් දැක්වීම විශේෂත්වයකි.
"පාලකයෙනි සේරුවිල, මුතූර් ,වෙරුගල්, ජීවිත දස දහස් ගණනක් අනතුරේ මහවැලි ගඟේ පරිසර විනාසය වහා නවතනු" මැයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශවලින් ගලා යන මහවැලි ගඟ වැලි කැනීම් නිසා මේ වන විට අඩි 20 වඩා ගැඹුරට හෑරී ඇති බවය.
එමෙන්ම ගොඩබිමට වඩා ගඟ ගැඹුරු වීම හේතුවෙන් ප්‍රදේශයේ වැව් අමුණු ළිං සිඳී යෑම නිසා ගොවිතැන් බත් සිදුකිරීමට සහ ජන ජීවිතයට බාධා එල්ල වී මුහුදු ජලය ළිංවලට එකතු වීමේ අවදානමක් මතුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම කිලෝමීටර් පහළොවක් පමණ දුර මහවැලි ගඟ දිගේ ලවණ මිශ්‍ර මුහුදු ජලය රට තුළට ඇතුළු වී ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.
මධ්‍යම පරිසර අධිකාරිය පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද සමීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම ප්‍රදේශයේ වැලි ගොඩදැමීම නිසා උග්‍ර ජල හිඟයකට මෙන්ම ප්‍රදේශයේ කාන්තාර තත්ත්වයකට පත්වන බවට සටහන් තබා ඇති බවද හෙතෙම එම ලියකියවිලි මාධ්‍ය හමුවේ පෙන්වමින් අවධාරණය කිරීම ද විශේෂත්වයකි.